Thursday, July 8, 2021

අටවක පුත්තු ; සිංහල නවකතාවේ නව්‍යවාදී හැරවුමක් ලෙස



2008 වසරේ රාජ්‍ය සම්මානය ලත් සිංහල නවකතාව මෙන්ම ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත හොඳම නවකතා පහ අතරට පැමිණි, ලියනගේ අමරකීර්ති විසින් රචිත ‘අටවක පුත්තු’ නවකතාව සම්බන්ධයෙන් මේ වන විටත් කෙරී ඇති විචාර ප්‍රතිවිචාර මතවාදයන් රාශියකි. කවරම හෝ කලා කෘතියක් සම්බන්ධයෙන් එසේ විචාර ප්‍රතිවිචාර පළවීම සාධනීය ලක්ෂණයක් ලෙස හැඟන්විය හැකිය. මක්නිසාද යත් ඒ සාහිත්‍ය කලාදියේ සුබසිද්ධිය උදෙසා අති විශාල දායකත්වයක් ලබා දිය හැකි යහපත් කටයුත්තක් වන හෙයිනි. හොඳ විචාර කලාවක් තිබීම සත් කලා කෘතියක් බිහිවීමේ මූලික කොන්දේසියක් ලෙස හැඟන්වෙන්නේ ද එකී තර්කය පදනම්කොට ගෙන ය. එකී ඉෂ්ඨාර්ථය තවදුරටත් සාධනය කරගනු වස් හෙවත්, නවකතාකරුවාගේ ප්‍රබලතා හා දුර්වලතා අපක්ෂපාතීව පෙන්වා දෙමින් ඔහුගේ නිර්මාණ ශක්‍යතාව තවදුරටත් දැල්වීමට අපගේ මේ සටහන ද එකතු කරමු. 

අටවක පුත්තු නවකතාවේ කථකයා වන්නේ දමයන්තය. එසේ නමුත් ඔහුගේම අභ්‍යන්තර චිත්තවේගය ලෙස සැලකිය හැකි ‘අඩහඳයා’  නවකතාවේ කේන්ද්‍රිය හුයක් ලෙස ක්‍රියාත්මක වේ. වෙනත් වචනයකින් කියනවානම් දමයන්තගේ ‘නූපන් නිවුන්නා’ හෙවත් අඩහඳයා යන්න ප්‍රබල සංකේතාර්ථයන් රාශියක් හකුළා තබන ප්‍රධානතම චරිතය ලෙස කතාව පුරා සියුම් හුයක් ලෙස අණසක පතුරවයි. ලේඛකයා විසින් තත් චරිතය නිර්මාණය කර ඇති ආකාරය, එක්තරා අතකට දමයන්තගේ සිත පිළිබඳ මනා්විද්‍යාත්මක කියැවීමක් කිරීමට නිතැතින් පාඨකයා පොළඹයි. 

දමයන්තගේ වැඩිවියට පැමිණීමත් සමග ඔහුගේ අව්‍යාජ සිත සංස්කෘතික ඇගයීම් හා දෘෂ්ටිවාදයන් විසින් යටපත් කරයි. කප්පාදුවට ලක් කරයි. සංස්කරණය කරයි. ‘දමයන්ත’ වනාහි සංස්කෘතිය විසින් ඔහුට පැවරූ සංඥා නාමය යි. එක්තරා අතකට අව්‍යාජ හැඟීම් හා පෙළඹීම්වලින් යුතු අව්‍යාජ ගැමි තරුණයා ‘අඩහඳයා’ තුළින් ද සංස්කෘතිකාදී දේවලින් කප්පාදු වූ මිනිසා දමයන්ත තුළින්ද සංකේතවත් වේ. තවද මෙය එක්තරා අතකට සමස්ත මිනිස් සන්තානයේ ආත්මීයත්වය හා අන්‍යත්වය අතර ගැටීමද නිරූපණය කරයි. අටවක පුත්තු නවකතාව මූලික වශයෙන් තමාට අහිමි වූ නිවුන්නා හෙවත් අඩහඳයා සෙවීමට දමයන්ත ගන්නා අනවරත වෑයම මත දිග හැරේ.

“මං දනගාගෙන මිදුලට ගිය හින්ද තාත්ත ඉස්තෝප්පුවේ දොරකඩ හරහට ලී පටි ගැහුව. ‘පැනපං, ඕවට බය වෙන්ඩ එපා, ඇහෙනවද අර අල්ලපු ගෙදර ලමයි මිදුලෙ වැලි කකා, වැලි නනා සෙල්ලං කරන හැටි. පැනපං’, අඩහඳයා කිව්වා. අඩහඳයා මං ඇතුලෙම වැටක් පැන්න. මං දනගාගෙන දොරකඩ ලඟට ගිහින් වීරිය ඇරගෙන වැටෙන් පැන්න. ‘දා ගනිං ජංගිය අස්සට වැලි’ අඩ හඳයා කිව්වා. මං දාගත්ත. ‘හරි සනීපයි නෙ?’ ඔව්ම තමයි. වැලි ගෑවෙන සනීපෙට චූ පැටියට චූ ගියා. චූයි වැලියි චූ පැටියයි එකට ඇලිල තියෙද්දි අම්ම ඇවිත් මගෙ පස්සට දෙකක් දීල උස්සං ගියා. එදා තමයි මං පලවෙනි ගුටිය කෑවෙ...”

බි්‍රතාන්‍ය අනුභූතිකවාදී දර්ශනයේ හා මනෝ විද්‍යාවේ පළමු අනුභූතිකවාදියා ලෙස සැලකෙන ‘ජෝන් ලොක්’ පවසන පරිදි, ඉපදෙන විට දරුවාගේ මනස සියලු ස්වභාවයන්ගෙන් (characters) හා සියලු සංකල්පයන්ගෙන් (Ideas) බැහැර, ‘පිරිසිදු පුවරුවක්’  (Tabula rasa - white paper) ලෙස ගන්නේනම්, දමයන්ත තම අම්මාගෙන් ලද මේ ප්‍රථම දඬු‍වම ඔහුගේ අව්‍යාජ මනස උරාගත් ‘සමාජ සංජානනයේ ප්‍රථම සංස්කෘතික රතු පැල්ලම’ සංකේතවත් කරයි. මිනිසා සතු නිසඟ ආශාවන් හා හැඟීම් වලට එරෙහිව සංස්කෘතිය විසින් බැඳෙන්නා වූ බැම්ම දමයන්තගේ තාත්තා ඉස්තෝප්පුවේ දොරකඩ හරහට ලී පටි ගැහීම තුළ ලේඛකයා අති සියුම්ව සංකේතාත්මකව හකුළා දක්වයි.

මෙසේ සංස්කෘතිය මගින් අව්‍යාජත්වය කප්පාදුවට ලක් කරමින් සංස්කරණය කරන ලද දමයන්ත තුළින් අවසන ඔහුගේ නූපන් නිවුන්නා හෙවත් අඩහඳයා අතුරුදන් වී යයි. ඒ නවකතාවේ පළමු අඩ අවසන් වීමත් සමගය. එසේ අතුරුදන් වන්නේ අන් කවරක් නිසාවත් නොව එවන් අව්‍යාජත්වයක් සමස්ත සමාජයම තුළින් නොඉල්ලීම හා එයට සමාජය තුළ පැවැත්මක් නොමැතිවීම නිසා ය. සමාජ්‍ය තුළ පැවැත්ම ඇත්තේ ඒ අනුව බොහෝකොට සංස්කරණය වූ මිනිසාට ය. වෙනත් වචනයකින් කියනවානම් සමාජමය දෘෂ්ටිවාදයන් ස්වකීය අනන්‍යතා ලක්ෂණයක් ලෙස ගෙන ඒ කෙරේ කිසිඳු චකිතයකින් හා පැකිළීමකින් තොරව අනුගත විය හැක්කාට ය.

“..මා වැඩිවිය වෙත එළඹුනේ ඒ අඩක් පිරුනුබව, අසම්පූර්නබව සමගයි. මා රවී වෙතත්, දිල්කි වෙතත්, කැරැල්ල වෙතත් හෙව්වේ මගේම අර්ධයද? මගේම අභ්‍යන්තරික නිහඬතාව නසන කට හඬද? අඩහඳයා නිහඬව යාමෙන් පසු, මා මගේ නොඉපදුනු නිවුන් සහෝදරයා සෙව්වේ බාහිර සමාජය වෙත මිස මා තුලවත් හිස් අහසේවත් නොවෙයි.

ඈ මියගියේ මා වැඩිහිටි බවට වේගයෙන් තල්ලු‍ කරමින්..”

දමයන්තගේ ළමා වියේ එක්තරා රොමෑනිටික හා පරමාදර්ශී සංකේතයක් වූ අනෝමා අක්කාගේ මරණය එක්තරා අතකට සමාජගත මෙන්ම ‘සංස්කරණිත පුද්ගලයකුගේ’ උපත ද ඉඟි කරයි. නොඑසේනම් අනෝමා අක්කාගේ මරණය දමයන්ත තුළ වූ අව්‍යාජත්වයේ අභාවය සලකුණු කරයි. ‘ඈ මියගියේ මා වැඩිහිටි බවට වේගයෙන් තල්ලු‍ කරමින්’ යනුවෙන් පැවසෙන්නේ එහෙයිනි. එසේනම් මේ සමාජ ප්‍රකරණයන් අපේක්ෂාකරන මේ ‘වැඩිහිටිබව’ යනු කුමක්ද? ඒ වැඩිහිටිබව වැඩිහිටිබවක් ලෙස, තමාගේ ආත්මීය අර්ධය මියගිය දමයන්ත පවා ගන්නා සාධක මොනවාද? මේ සියුම් පාඨකයා තුළ සුගැඹුරු ප්‍රශ්නයන් නිර්මාණය කරන සියුම් අවස්ථාවන් ය. කථාවේ ප්‍රථම පරිච්ඡේදය නිමවන්නේ යටකී ලෙස, දමයන්ත තුළ සැඟව සිට ඔහු හට මග පෙන්වන අඩහඳයා අනෝමා අක්කාගේ මරණයත් සමගම කථානායකයා වන දමයන්ත හැර පළා යෑමෙනි.

සංස්කෘතික කප්පාදුවට බඳුන්ව තම අව්‍යාජත්වය අහිමි කරගත් දමයන්ත හට පසුකාලීනව තම “නූපන් නිවුන්නාගේ“ අඩුව වඩාලාත් දැනේ. මක් නිසාද යත් ඔහු හට තමා මෙතෙක් ජීවත්වූ පරිසරයෙන් මිදී ඉන් විපරීත වූ එමෙන්ම මෙතෙක් අපේක්ෂා නොකළ විශ්වවිද්‍යාල පරිසරයට ඒම සිදුවීම නිසා ය. එහිදී ඔහු තමාට හමුවන අය කෙරේ තමාට අහිමිවූ නිවුන්නා සෙවීමට වෙහෙස වෙන අතර රවී, දිල්කි, වජිරා වැනි අය තුළ එසේ තමා විසින් ගිලිහුණු තම අර්ධය වූ අඩහඳයා දැක හිටිවනම ඔහු වෙවුලු‍ම් කයි.

“... ‘මං රවී’ ඔහු කිව්ව.

කෙල්ලගෙ මූණ ලස්සන හිනාවකින් එලිය වුනා දමයන්ත ඈතට දැක්ක. ඔහුගෙ ඇඟ ඇතුලෙ ආසාවෙ ඉදිකට්ට ඇනි ඇනී ගියා.

‘මම දිල්කි’ ඇය ඔහුගෙ අත අරන් හොලවමින් කිව්ව. දමයන්තගෙ හදවත ඒ හාම හෙල්ලු‍නා. උඔත් ඒ කෙල්ලට කැමතියි නේද කියල අඩහඳයා හදිසියේම මතු වෙලා අහයි කියල ඔහු බය වුනා...”

රවී සහ දිල්කි වැනි අව්‍යාජ, නාගරික, මධ්‍යම පාන්තික ලිබරල් චරිතයන් තුළ තම අව්‍යාජත්වය සෙවීමට වෙහෙසුනු දමයන්ත, තදනන්තරව ඊටත් වඩා තමාට සමීපයැයි හඟින ‘විප්ලවීය දේශපාලනය’ ලෙස ඔහු හඟින කැරැල්ල තුළින් එය සෙවීමට වෙහෙස ගනී. නමුත් එහිදී ද ඔහුට තම අව්‍යාජත්වය හමු නොවේ. එපමණක් නොව ඒ තුළ තම අහිමිව ගිය අව්‍යාජත්වය ඇතැයි වරදවා වටහාගත් දමයන්තට එහිදී රඟපාන්නට සිදුවන්නේ ද දෙබිඩි චරිතයකි. එහිදී නවකතාකරුවා සිදුකරන්නේ ‘අඩහඳයා’ යන රූපකය තරමක් අපූර්ව ආකාරයක අර්ථයකින්, තේමාමය තලය කරා සියුම්ව ගෙන ඒමක් බැව් ද එක්පැත්තකින් සිතිය හැක. 

ඉඳහිට අහම්බයන් සේ ක්‍රියාත්මක වන රවී, දිල්කි, වජිරා, රෙජිනා නෝනා වැනි චරිත හැරුණුකොට සමස්ත සමාජයම නියෝජනය කරන්නේ දමයන්ත වැනි ‘අර්ධ පූර්ණ’ චරිතයන් ය. තමන් සතු රික්තකයන් පූරණය කරගැනීමට යෑමේදී එකී අර්ධපූර්ණ මිනිසාට තම හෘදසාක්ෂිය පසෙක තබා ඇතැම්විට විනාශකාරී හා දෙබිඩි පිළිවෙත් කරා යොමුවීමට සිදුවේ. ගැමි කාන්තාවක වන රෙජිනා නෝනා තුළින් හා දමයන්ත රවී, දිල්කි, වජිරා වැනි චරිතයන් තුළින් තම අව්‍යාජ අර්ධය දුටුවද, එකී වෑයමේදී විප්ලව වැනි දේවල පැටලී දෙබිඩි චරිතයක් රඟපෑමට දමයන්තට සිදුවන්නේ එහෙයිනි. තමාට සිය පුතකු ලෙස සලකන රෙජිනා නෝනාට එල්ල වූ උණ්ඩයට තමා සතුව තිබූ විප්ලවීය තුවක්කුවේ කොටස වන ‘කොකා’ ද ලබාදීමට දමයන්ත කටයුතු කිරීමෙන් කතුවරයා සූචනය කරන්නේ මේ යථාර්ථය යි. මෙහිදී දමයන්ත සතු දෙබිඩි භාවයත් සමග ලේඛකයා සතු පුළුල් දේශපාලන දැක්ම නිරූපණය වේ. 

ගම තුළ රෙජිනා නෝනාට මුහුණට නොබැන පසුව බනින ගැහැනු පිරිමි සහිත සමාජය ද, විශ්වවිද්‍යාල තුළ එහි ඇදුරන් හා සිසුන් ද, විප්ලවය තුළ දමයන්ත ඇතුළු පිරිස ද ආදීන් මගින් කතුවරයා අර්ථවත් කරන්නේ සමස්ත සමාජය හා දේශපාලන ක්‍රමය තුළ වන්නා වූ මේ දෙබිඩි භාවය යි. 

දමයන්ත ශිෂ්‍ය වීරයකු බවට පත් කරමින් කතුවරයා ස්පර්ෂකරන දේශපාලනික තේමාව අතිශ්‍ය වැදගත් ය. නමුත් දේශ විමුක්ති ව්‍යාපාරය යටතේ පැවැත්වුණු, විභාග වර්ජන උද්ඝෝෂණය අසලට පැමිණි දමයන්ත ‘ශිෂ්‍ය වීර දමයන්ත’ වීම හා එසැණින් මෙතෙක් වේලා තම මිත්‍රයාව සිටි රවී හට කළුතෙල් ගැසීමත් ආදිය තුළින් දමයන්තගේ තුන් සිතකවත් නොතිබූ විප්ලවය කරා ඔහු විතැන්කිරීමේදී කතුවරයා ගන්නා වෑයම තරමක් ව්‍යාජ හා අභව්‍ය එකක් බැව් කිව යුතුය. එවන් අවස්ථා නවකතාවේ චරිත නිරූපණයයේ ප්‍රබලතාවට හා ප්‍රාණවත් භාවයට සිදු කරන්නේ ප්‍රබල හානියකි.

නවකතාව තුළ නිරූපිත චරිතයන් අතර රෙජිනා නෝනාගේ චරිතය වඩාත් වැදගත් සහ සිත් ගන්නා චරිතයක් වේ. ගමේ වින්නඹු මාතාව වන ඇය ගමත් ආණ්ඩුවත් යා කරන හුය ලෙස ගැමියන් දකිතත් ඈ අධිකාරී දෘෂ්ටිවාදයන් හි අධානග්‍රාහීව හා ගැතිව එල්ලී ඒවා පෝෂණය කරන්නියක නොව, ඉතා ස්වාධීන හා නිර්භීත මත දරන රැඩිකල් චරිතයකි. තමන්ගේ අව්‍යාජත්වය අහිමි නොකරගත් ඈ කෙරේ ගමේ ගැහැනුන් හා කෙල්ලන් වඩ වඩාත් ආශක්ත වන්නේ තම තමන්හට සංස්කෘතිය විසින් අහිමි කළ අර්ධය ඈ කෙරෙන් දැක, සන්තර්පනය කර ගැනීමට විය නොහැක්කේ නොවේ. ගමේ ගෑනුන්ට බයිසිකල් පදින්නට හා සැමියා ගැහුවෝතින් රෑට වර්ජනේ කරන්නට ඉගැන්වූ ඈට විරුද්ධව කියන්නට දෙයක් නොවූකල පිරිමින් රහසේ කියූ දේ වූයේ ‘ඒවා හොඳයි කකුලේ මයිල් තියෙන ගෑනුන්ට’ කියාය. ඒ අනුව නිර්වචන ශඛ්‍යතාව හිමි සංස්කෘතිකමය ආත්මීයත්වය (Self) ඈ කේන්ද්‍රගත කරනුයේ අනෙකා (Other) යන තැනවත් නොව එයද ඉක්මවා ගිය මහා අනෙකා (Extreme other) යන ස්ථානයෙහිය. ඈ ‘කකුලේ මයිල් තියෙන ගැහැනියක’ ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට බලය හිමිවන්නේ අන් කවර කරුණක්වත් නිසා නොව ඔවුන් එතක්තරා දුරකට සමාජීය ආත්මීයත්වය නියෝජනය කිරීම හා ඒ හේතුකොට නිර්වචන ශඛ්‍යතාව යම්තාක් දුරට ඔවුන් සතු වීම නිසාය. (කොණ්ඩය වවා ටී-ෂර්ට් එකක් ඇඟ රවී පොලිසිය විසින් අනෙකා යන ස්ථානයෙහි කේන්ද්‍රගත කරන්නේද ඔවුන් සතු මේ ශඛ්‍යතාව නිසාය) අධිකාරීමය බලය හමුවේ අන්‍යත්වයට පත්වන කැරලිකරුවන්ගේ තුවක්කුව රෙජිනා නොනා වෙත එල්ල වීමෙන් (ඈ එකී අන්‍යන් තුළින් ද අන්‍යත්වයට පත්වීම) එකී තර්කය තව දුරටත් ස්ඵූට කරයි. යට කී ලෙස, ගමේ ගෑනුන්ට බයිසිකල් පදින්නට කියාදෙමින්, සැමියා ගැහුවෝතින් රෑට වර්ජනේ කරන්නට කියාදෙමින් රෙජිනා නෝනා තමන්ට වඩා රැඩිකල් හා ප්‍රායෝගික විප්ලවයක් ගම තුළ කරන බැව් දන්නා, එමෙන්ම රැඩිකල් වෙනස්වීමක් කළ හැක්කේ තමන්ට පමණකි‘යි කියා සිතන කැරලිකරුවන්ගේ ද්වේශ සහගත තුවක්කුව ඈ වෙත යොමුවීම ගැඹුරු දේශපාලන යථාර්ථයක් සූචනය කරයි. පොල්ල නැති බයිසිකලය පදිමින් ගම පුරා ගොස් විප්ලවීය සේවයක් කරන රෙජිනා නෝනාගේ කකුලට වෙඩි තැබීමත් ඈ බයිසිකලයෙන් රෝද පුටුවක් කරා විතැන් කිරීමත් අපූර්ව ව්‍යංග්‍යාර්ථ නගමින් සමස්ත කෘතිය පුරා තේමාවන ආත්මීයත්වය හා අන්‍යත්වය අතර වන දේශපාලනමය ගැටුම තවදුරටත් සංකේතමය ලෙස සුවිශද කරයි.

අටවක පුත්තු සමස්ත නව කතාව පුරා වන සියලු‍ම පාහේ චරිත, තමන් කෙරෙන් අහිමිවූ අව්‍යාජත්වය හා සංකෘතිය මගින් ලද්දාවූ ව්‍යාජත්වය, එසේත් නැතිනම් ආත්මීයත්වය හා අන්‍යත්වය අතර ඇතිවන අනවරත ගැටීම මනා කොට නිරූපණය වන පරිදි එකිනෙක හා ඝට්ටනය කිරීමෙන් කෘතියෙහි තේමාමය අරුත වඩාලාත් ස්ඵුට වන පරිදි ඉසියුම් හා නව්‍යවාදී භාවිතයක් තුළ ගොනු කිරීමට කතුවරයා දක්වන චාතූර්යය ප්‍රසංශනීය වේ. රවී, දිල්කි, වජිරා, ආචාර්ය සොයිසා, අසේල ගුණරත්න, පොල් සුනිල්, රෙජිනා නෝනා වැනි චරිත, කෘතියෙහි තේමාමය අරුත් ස්පර්ශ කළ හැකි ආකාරයකට මනා ප්‍රතිපක්ෂාත්මක ආස්ථානයන්හි පිහිටුවා එකිනෙක හා ඝට්ටනය තුළින් ප්‍රබල නිරූපණයක් තුළ සූචනය වන එකී චරිතයන් අතර ප්‍රධාන වේ.

කතාව නිර්මාණයේදී කතුවරයා විසින් ආකෘතිකමය නැව්ම්භාවයක් ලබාදීම පිණිස හා තම තේමාමය අරුත මනාව කුළුගන්වනු පිණිස බැවහරිත ඇතැම් උපක්‍රම, අතිශ්‍ය නැවුම් වන අතර ඒවා ඇතැම්විට සිංහල සාහිත්‍ය කෙරේ ඉතා පෙරටුගාමී, ඉසියුම් භාවිතාවන් මුල්වරට දායක කරයි. අටවක පුත්තුහි සුභාවිත මෙවන් ආකෘතිමය අත්හදා බැලීම්, එය කියවන පාඨකයාට ඉසබෙල් අයියන්දේ, ගබ්රියල් ගාර්ෂියා මාකේස්, මිලාන් කුන්දේරා, ඉෂාක් බෂෙවිෂ් සිංගර්, පාවුලෝ කොයියෝ, ඉටැලෝ කැල්විනෝ වැනි ශ්‍රේෂ්ඨ නූතනාවාදී ලේඛක ලේඛිකාවකගේ ලේඛනයන් සිහි කරවයි.

කතාව කියාගෙන යෑමේදී පාඨක කුතුහලය රැකගනුවස් අමරකීර්ති විසින් සුභාවිත එක් වැදගත් උපක්‍රමයක් වන්නේ ‘අනාගතය පිළිබඳ ඉඟි දීම’ (Fore shadow) නම් සාහිත්‍යමය විධික්‍රමය යි. යට කී ලේඛක ලේඛිකාවන් බොහෝ විට භාවිත කරන මේ ක්‍රමවේදය මූලික වශයෙන් සාහිත්‍ය යෙන් ආරම්භවී පසුව සිනමාව, නාට්‍ය කලාව ආදී සෙසු කලාවන් වෙත ව්‍යාප්ත වූ ජනප්‍රිය විධික්‍රමයකි.

“...‘ඕනැම වෙලාවට විතරයි මං පෙනී හිටින්නෙ’ ඔහු කිව්වා.

ඒක ඇත්තම ඇත්ත බව පස්සෙ කාලෙක මට වෙඩි වදින්ඩ මොහොතකට කලිං හරියටම ඔප්පු උනා...”

“...නිවුන්න මගෙ ඇතුලෙම හැංගිල ඉන්නව කියල මං කාටවත් නොකිව්වට, මං ඒක පස්සෙ කාලෙක දිල්කිටයි, රවීටයි කියනකොට, ... මේ දෙන්නා අපේ කතාවට සම්බන්ධ වෙන්නෙ තව පස්සෙ උනත් මං කතාව කියන්නෙ ඒ දෙන්නගෙ අනුභාවයත් යටතෙ..”

තවද කතාව තුළ බැවහරිත දෘෂ්ටිකෝණ භාවිතය ගත් කල, කතුවරයා තම තේමාමය අරුත් සාධනය කරනුවස් දමයන්තගේ භාව ප්‍රකාශන මාර්ගය පමණක් නොගනී. ඒ අනුව කතුවරයා කරන්නේ එය පක්ෂි දෘෂ්ටිමානයට (Bird's-Eye View) හසුවන සේ කථන ස්වභාවය විපරීත කරමින් ඉතා පෘථුල හා පාරදෘශ්‍ය ලෙස සර්වවේදී දෘෂ්ටිකෝණය තවදුරටත් නූතනවාදී ආකෘතියක් තුළ ගොනු කිරීමයි. එකී භාවිතය ඉවහල් වී ඇත්තේ, ප්‍රබන්ධය සතු මුඛ්‍ය තේමාමය අර්ථයන් යථා පරිදි ස්පර්ෂ කිරීමට පමණක් නොව චරිත නිරූපණයන්හි සාර්ථක භාවයට හා ප්‍රබලත්වයටත් සමඟය.

අටවක පුත්තු සම්බන්ධයෙන් විචාර පළ කළ ඇතැම් විචාරකයින්ගේ මතය වූයේ එහි භාෂාමය අලංකාරයක් නොමැති බව හා ව්‍යාකරණමය වැරදි රාශියක් ඇති බවයි. නමුත් අප දකින ආකාරයට අටවක පුත්තු නවකතාව වඩාලාත් සුන්දර වන්නේ ඒ සතු භාෂාමය අපූර්වත්වය නිසාවෙනි. තත් ප්‍රබන්ධය සතු භාෂා භාවිතය පිළිබඳ අප තර්කය ස්ඵූට කරනු වස් එහි එන අඩහඳයා නම් පළමු පරිච්ඡේදය වුවද ප්‍රමාණවත් වේ. කතාව ඉතා පරෙස්සම් සහගතව කියවන පාඨකයාට හැඟී යන දෙයක් නම්, එය පළමු පරිච්ඡේදයේ සිට දෙවැනි පරිච්ඡේදය කරා යෑමේදී මුල් පර්ච්ඡේදයෙහි තිබුණු යටකී භාෂාමය චමත්කාරයෙහි හා කතාව ගලා ගිය රිද්මයෙහි ක්ෂණික කඩාවැටීමක් ඇති වී ඇති බව යි. නමුත් කතාවේ තේමාව මෙන්ම ආකෘතිය එකිනෙක හා බද්ධව ගෙන කියවන විචාරශීලී පාඨකයා හට එකී කඩාවැටීම කතුවරයාගේ දෝෂයක් නිසා සිදුවූවක් නොව, ඔහු විසින් ඉතා සවිඥානිකව කතාවේ තේමාව ස්ඵූට කරනු වස් බැවහර කරන ලද නව්‍යවාදී ආකෘතිමය අත්හදා බැලීමක් බැව් පෙනී යෑමට එතරම් කල් ගත නොවේ. මක්නිසාද යත්, කතාවේ ‘අඩහඳයා’ නම් පළමු පරිච්ඡේදය අවසන් වන්නේ දමයන්තගේ නූපන් නිවුන්නා හෙවත් අඩහඳයා ඔහු හැර යෑමෙනි. එතැන් සිට දමයන්ත තුළ ඇතිවන තනිකම, කඩාවැටීම පමණක් නොව ඔහුගේ ජීවිතය තුළ ඇතිවන රිද්මීය වෙනස ඇතුළු සියලු‍ විපරීත භාවයන් මේ භාෂාමය හා රිද්මයානුකූල කඩාවැටීම තුළ කතුවරයා මනාකොට හකුළුවා දක්වන්නේ අති නවීන බටහිර ප්‍රබන්ධයන් සිහිපත් කරමිනි. මෙසේ හිටි හැටියේ කඩා වැටෙන භාෂාව හා කතාවේ රිද්මය පිළිබඳ භාවිතය දමයන්ත තුළ වන එකී විප්‍රලම්භය හා විපරීතභාවය පාඨකයා හට දනවමින් ඔහු කතාව තුළ ස්වාත්මීයකරණය කිරීමට මනා පිටිවහලක් වේ. මෙසේ භාෂාව හා රිද්මය තුළින් ඇති කළ ක්ෂණික ආකෘතිමය වෙනස නැවත ප්‍රකෘති තත්වයට පත් වන්නේ කතාව සෙමින් සෙමින් බොහෝදුරට ඉදිරියට ගලාගෙන යෑමත් සමග පාඨකයාට නොදැනීම ය.

මෙම කෘතිය විමසා බැලීමෙදී පෙනී යන තවත් වැදගත් කරුණක් නම්, නූතන ලෝක සාහිතයයෙහි නව නැමියාවන්ගෙන් මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසයෙන් තමා යෙහෙන් අවශෝෂණය කර ගත් හික්මීම අටවක පුත්තු නිර්මාණය කිරීමේදී කතුවරයා හට මනා පිටවහලක් වී ඇති බවයි. අන්ත ග්‍රාමීය සමාජ ව්‍යුහයේ සිට උපරිම නාගරික සමාජ ව්‍යුහය දක්වා තමා සතුව පවත්නා විපුලිත අත්දැකීම් වපසරිය, සාහිත්‍යමය ප්‍රතිනිර්මාණ කරණයේදී ලේඛකයා විසින් බැවහරිත ආකාරය ඉතා ප්‍රසංශනීය වේ. එකී විපුලිත විෂය හා අත්දැකීම් වපසරිය හේතුකොට ලියනගේ අමරකීර්ති තම නිර්මාණ භාවිතය තුළ ලබන අස්වැසුම ද අති මහත් බැව් පෙණේ.

අටවක පුත්තු කෘතියෙහි ව්‍යාකරණ භාවිතය තුළ කතුවරයා මූර්ධජ ණ - ළ ආදිය ඉවත් කරයි. එකී අත්හදා බැලීම ප්‍රබන්ධය තුළට ගෙන එන වෙසෙසි අලංකාරයක් නොමැති බව සැබවි. එසේ නමුත් එකී වියරණ භාවිතය තුළින් ලේඛකයා කරනු ලබන්නාවූ අත්හදා බැලීම්, කෘතියෙහි තේමාමය ස්පර්ෂයන් සාධනය කරනු පිණිස ප්‍රබන්ධයේ ආකෘතිය සමග කරනු ලැබුවා වූ සවිඥානික ගණුදෙනුවක ප්‍රතිඵලයක් බැව් පෙණේ. නමුත් අපගේ මතය වන්නේ ද කතුවරයා විසින් කෙරෙන්නාවූ එකී භාවිතයන් හා අත්හදා බැලීම් කතාව රසවිඳුමට සිදුකෙරෙන විශාල හානියක් නොමැති බව යි. න-ණ, ල-ළ භාවිතය තුළින් පමණක් නොනැවතී පිලි සමරූපීකරණය ආදිය තුළින් පවා අටවක පුත්තු කතුවරයා ඉක්මවා ගිය අජිත් තිලකසේන වැනි නිර්මාණ කරුවන්ගේ කෘති රස විඳින පාඨකයාට අමරකීර්තිගේ භාෂාමය භාවිතය දුෂ්කර වෙතැයි කෙසේවත් සිතිය නොහේ. 

අටවක පුත්තු නිර්මාණයේ දක්නට ලැබෙන දුර්වලතා අතර විශාලතම දුර්වලතාව ලෙස අප දකින්නේ කතාවේ තේමාවට හා එහි ඒකාත්මික භාවය සඳහා කිසිඳු අදාළත්වයක් නොමැති දීර්ඝ සිදුවීම් රාශියක් ඇතුලත්වීම නිසා කතාව අනවශය පරිදි දීර්ඝ වීමත් ඒ හේතුකොට ඇතැම්විට කතාව එල්ලා වැටෙන තත්වයකට පත්ව තිබීමත් ය. ළිඳ හෑරීම සම්බන්ධ දීර්ඝ සිදුවීම් සම්භාරය, නන්ද බාප්පා හා අනෝමා අක්කා අතර ප්‍රේම සම්බන්ධය පිළිබඳ දීර්ඝ සිදුවීම් සම්භාරය, නාට්‍යය රඟපෑම පිළිබඳ සිදුවීම් සම්භාරය ආදී කතාව තුළ නිර්මිත බොහෝ සිදුවීම් ප්‍රබන්ධයෙහි තේමාමය තලය කුළුගැන්වීමට කෙතෙක් දුරට වැදගත්දැ’යි සොයා බැලිය යුතුය.

කිරිත් සමග දේශපාලනය පෙවෙන යුගයක උපන් දමයන්තගේ අඩහඳයා හෙවත් නිවුන්නා පිළිබඳ රූපකාර්ථය ප්‍රමුඛ කරගත් අටවක පුත්තු තුළින් සමස්ත ලාංකීය සමාජය සතු දේශපාලනික, සංස්කෘතික, සාමාජීය ආදී අර්බුදයන් සංකේතාත්මකව ප්‍රශ්න කිරීමට ලේකඛයා සමත් වේ. 1956 දී මෙරට සමාජය කෙරේ ඇතිවූ සමාජමය විපරීත භාවයන් පමණක් නොව, 1977 හා 1988-1989 යන දේශපාලනික හැරවුම් ලක්ෂයන් මෙම සකලවිධ ඛේදවාචකයන් කරා සමාජය මෙහෙයවන අකාරය සමස්ත නවකතාව පුරා චිත්‍රණය කිරීමට කතුවරයා දක්වන චාතූර්ය අගය කොට යුතුයි. යටකී ලෙස, ප්‍රබන්ධය පුරා දිව යමින් සමස්ත නිර්මාණය බැඳ තබන හුය හෙවත් නිවුන්නා පිළිබඳ රූපකය තවත් අතකට වත්මන් සමාජය සතු ‘පරාරෝපණය’ වැනි ඛේදවාචකයන් පිළිබඳ වන දාර්ශනික මානයන් කෙරේ ඉඟි කරයි. අවස්ථානුකූල ලෙස විපරීතාර්ථයන් නිරූපණය කරමින් කතාවේ තේමාමය අරුත හකුළා තබන රූපක භාවිතය පමණක් නොව, අද්‍යතන ප්‍රබන්ධ කතා කලාවේ බැවහරිත නව්‍යතම, අපූර්වතම, හා සූක්ෂ්මතම භාවිතයන් රාශියක් සිංහල නවකතා කලාවට හඳුන්වා දීමට සමත් වන අටවක පුත්තු, දේශපාලනික හා දාර්ශනික මානයන් පිළිබඳ ගැඔුරු කථීකාවක යෙදිය හැකි, යථාර්ථවාදය හා එහි දිගුවක් ලෙස සැලකෙන අධි යථාර්ථවාදයේ ආභාසයෙන් නිර්මිත මුහුන් රීතියක් හඳුන්වා දීමට ද සමත් වේ. ඒ අනුව ‘අටවක පුත්තු’ නවකතාව නූතන සිංහල ප්‍රබන්ධකතාවේ පෙරටුගාමී සලකුණක් ලෙස හැඳින්විය හැකිය. 


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


Thursday, July 1, 2021

අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළෙදපොළෙන් ලොකු කුට්ටියක් කඩාගත හැකි කෙක්කක් විදියට


ඇමරිකානු දර්ශන විද්‍යා මහාචාර්යවරයකු වන අර්වින් එඩ්මන්ගේ ‘කලාව සහ මිනිසා’ මහාචාර්ය ලියනගේ අමරකීර්ති අතින් පරිවර්තනය වූ නවතම කෘතියයි. කලාවේ ස්වභාවය, කලා වින්දනය, කලාවේ දාර්ශනික පසුබිම ආදී කරුණුත් සෞන්දර්ය විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කමත් පිළිබඳ විවිධ කලාවන් ඇසුරින් ඉසියුම් විචාරයකට ලක් කරන එඩ්මන්ගේ මෙම කෘතිය මහාචාර්ය අමරකීර්ති ලාංකික පොළව මත තබන්නේ අනන්‍ය පසුබිමක් තුළ සුවිශේෂාර්ථ ගන්වමින්. මේ කලාව සහ මිනිසා සහ පරිවර්තකයා විසින් එය ආස්ථානගත කිරීමට යුහුසුලු වන සංධර්භමය කාරණා පිළිබඳව කරන ලද සංවාදයකි. 


‘කලාව සහ මිනිසා’ වගෙම කළින් පළ කළ ‘කලාව කුමකටද’ කියන කෘති දෙකම ඔබ සමාජගත කරන්නේ අධ්‍යාපනය සම්බන්ධ යම් සමාජ දේශපාලනික අරමුණක් පෙරදැඩිව?

ඔව්. අධ්‍යාපනය කියන එක අපි ලංකාවේ තුළ ගන්න විදිහේ යම් සංකල්පමය දරිද්‍රතාවක් තියෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට අධ්‍යාපනය ගන්නෙම කරණීය තර්කණය තුළ ඉඳලා. අධ්‍යාපනය තුළින් අපිට භෞතිකව මොකද්ද ලැබෙන්නෙ කියන එක තමයි ලංකාවෙ අය බලාපොරොත්තු වෙන්නෙ. 

නමුත් අධ්‍යාපනය අපේ විඥානය ප්‍රසාරණය කරන උපකරණයක් සහ අපේ ආචාරධාර්මික තර්කණය වර්ධනය කරන මෙවලමක් වෙන්නයි අවශ්‍ය. ඒ වගේම ඒක අපේ භාවමය ධාරිතාව වර්ධනය කරන පුහුණුවක් වෙන්න ඕන. නමුත් අපි දැන් ඒක ගැන හිතන්නෙ ඒ විදිහට නෙමෙයි. අපි අධ්‍යාපනය ගැන කල්පනා කරන්නේ රැකියා වෙළඳපොළෙන් ලොකු කුට්ටියක් කඩාගන්න පුලුවන් කෙක්කක් විදිහට. අධ්‍යාපනය මේ කියන කරණීය තර්කණයට ඌනනය වෙලා තියෙන නිසා තමයි වෛද්‍ය පීඨයට යන්ඩ, ඉංජීනේරු පීඨයට යන්ඩ සහ කළමණාකරණ වගේ පීඨවලට යන්ඩ ළමයින්ගෙ සහ දෙමව්පියන්ගෙ මෙච්චර ලොකු උනන්දුවක් තියෙන්නෙ. වෛද්‍ය පීඨයට යන්න ඒ උනන්දුව එන්නෙ සෞඛය සම්පන්න ජාතියක් ගොඩනගන වත් තවත් මනුෂ්‍යකුගේ සුව දුක් වෙනුවෙන් කැපවන්නවත් නෙමෙයි. ඉංජිනේරු පීඨයට යන්න ඒ උනන්දුව ඇතිවෙලා තියෙන්නේ ශිෂ්ටාචාරය ගොඩනගන්න නෙමෙයි. කළමණාකරණ පීඨයට යන්න උනන්දුව ඇතිවෙලා තියෙන්නෙ මූලික වශයෙන් වඩා හොඳ මානව කළමණාකරණයක් ඇති කිරීම නෙමෙයි. මේ හැම දේකම මූලික අභිමතාර්ථය වෙලා තියෙන්නෙ රැකියා වෙළඳපොළෙන් හොඳ කුට්ටියක් කඩාගැනීම. 

ඔබ ඇහුවා වගේ, ඉස්සෙල්ලා මං පරිවර්තනය කළ කලාව කුමකටද කියන පොතෙයි, කලාව සහ මිනිසා කියන පොතෙනුයි මං සමාජගත කරන්න උත්සාහ කරන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන සංකල්පමය දරිද්‍රතාව පුලුවන් තරම් තුනී කරගන්නෙ කොහොමද කියන එක. ඒක පොත පත ලියලා විතරක් කරන්න අමාරු බව ඇත්ත. ඒකට අධ්‍යාපනය සම්බන්ධයෙන්  ඊට වඩා විශාල සමාජ පුනරුදයක් අවශ්‍යයි.  


මේ කියන කරණීය තර්කණය සඳහා වැඩි වශයෙන් නැඹුරුවීමට යම් රටේ ආර්ථික පදනම බලපාන්නෙ නැද්ද?

ඔව්. යම් විෂයයන් කීපයක් පදනම් කරගෙන මිනිසුන් කොටසකට  විතරක් අභිමානවත්  සහ ගෞරවනීය ජීවිතයක් ලබාගැනීමට ඉඩ සලසන ආර්ථික පසුබිමක් තමයි අපේ වගේ රටවල තියෙන්නෙ. ඉතින් කළින් කිව්වා වගේ ඒ ආර්ථික දේශපාලනික පැත්තට ශාස්ත්‍රවන්තයෙක් විදිහට උත්තර දීලා විසඳන්න අමාරුයි. හැබැයි එහෙම නොකරත් බෑ. 

අපි හිතමුකො වෛද්‍යවරයාටයි, විශ්වවිද්‍යාල ආචාර්යවරයාටයි, පාසල් ගුරුවරයාටයි, කවියාටයි එකම මට්ටමේ ආදායමක් තියෙන ආර්ථිකයක් තිබුණා කියලා. ඒ විදිහට වෛද්‍යවරයාගෙයි කවියාගෙයි ආර්ථික පරතරය අඩු සමාජයක වුනත් අර කියන සංකල්පීය දරිද්‍රතාව තියෙන්න පුලුවන්. මොකද ඒ වගේ සමාජයක වුනත් කවියා ඉන්නෙ මොකටද කියලා තේරෙන්නෙ නැති වෙන්න පුලුවන්.   


අධ්‍යාපනයේ වෙළඳපොළ අවශ්‍යතාව කියන එක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුලුවන් කාරණයක්ද?

යම් මනුෂ්‍යකුට අධ්‍යාපනයේ අවසානයේ හොඳ ආදායමක් ලැබෙනවානම් සහ ඒ මගින්  සැප  පහසු නූතන ලෝකයක් සඳහා දොරක් ඇරෙනවානම් ඒක හොඳයි තමයි. ඇත්තටම අධ්‍යාපනයේ තියෙන ඒ ගුණය අපි ආරක්ෂා කරගන්න ඕන. එහෙම නමුත් අධ්‍යාපනය තුළින් ඒ දොර ඇරෙන්නේ එක කොටසකට විතරනම් ඒකෙ ප්‍රශ්නයක් තියෙනවානෙ. 

මානව ශාස්ත්‍ර සහ කලා අධ්‍යාපනය විසින් තමයි පූර්ණ රසවතෙක් බිහිවෙන්නේ සහ හොඳ වින්දන ශක්තියක් තියෙන මිනිසෙක් හැදෙන්නේ කියලා යමෙක්ට කියන්න පුලුවන් තමයි. නමුත් අපිට වින්දන ශක්තිය විතරක් තියෙන අකර්මන්‍ය මිනිසෙක් වැඩකුත් නෑ. විශේෂයෙන් අපේ වගේ රටකට කාර්්‍යක්ෂම පුරවැසියෙකුයි කාර්යක්ෂම ශ්‍රමිකයකුත් ඕන. නමුත් මේ කියන කාර්යක්ෂම ශ්‍රමිකයා වගෙම හොඳ භාවමය සමබරතාව තියෙන රසිකයත් එකතැන ඉන්න පුලුවන්නෙ. නමුත් අපේ තියෙන ගැටලුව තමයි ඒ දෙක සමබරව තියෙන අය අපිට අඩු වීම.

නියම ශිෂ්ට සමාජයක් ගොඩනගන්න අපි හිතනවානම් තමන්ගේ ජීවිතය වගෙම තමන් යටතේ යැපෙන දරුවන් වගේ අනික් මිනිසුන්ට හොඳ ජීවිතයක් උදා කරලා දෙන්න පුලුවන් ආර්ථිකයක් තියෙන මිනිසෙක් හැදෙන්නත් ඕන. ඒ වගේ ම ඔහු හොඳ වින්දන ශක්තියක් හොඳ පුරවැසියෙක් වෙන්නත් ඕනා.


කලාව සහ මිනිසා පෙරවදනෙහි ඔබ දීර්ඝ වශයෙන් මතුකරන ‘සාකල්‍යවාදී අධ්‍යාපනය’ වැදගත් වෙන්නේ මේ අරමුණ කරා යෑමේදීද?

සාකල්‍යවාදී අධ්‍යාපනය කියන එකෙදි අදහස් කරන්නේ කාර්්‍යක්ෂම ශ්‍රමිකයාගේ සිට සියුම් රසවතා දක්වා සියලු පැතිමාන පෝෂණය කරන අධ්‍යාපනය. වෙනත් වචනයකින් කියනවානම් මේ විදිහේ සාකල්‍යවාදී අධ්‍යාපනයකින් ශාරීරික කුසලතා, බුද්ධිමය කුසලතා සහ භාවමය කුසලතා  ආදී සියලු පැතිමානයන් දියුණු විය යුතුයි.    

ඒ මනුෂ්‍යයා හුදෙක් රොමෑන්ටික් සහ කාව්‍ය රසයේ ගැලිලා උදාසීනව රසවිඳිමින් ඉන්න සහ සාමාන්‍ය ජීවිතයෙන් පලාගිය කෙනෙක් නෙමෙයි. ඒ විදිහේ සාකල්‍යවාදී අධ්‍යාපනයක ඵළය විදිහට ඉපදෙන මනුෂ්‍යයා රොමෑන්ටික් යුගයේ කවියන් වගේ පොදු ජීවිතයට එකඟ වෙන්නේ නැති බොහීමියානු ජීවිතයක් ගතකරමින් ඇවිද ඇවිද ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ මනුෂ්‍යයා ලෞකික අර්ථයෙන් සාර්ථක වෙන ගමන් රසසඥතාව සහ භාවමය වෛපුල්‍ය අතින් පිරිපුන් මනුෂ්‍යයෙක්. 

මට මතකයි මහත්මා ගාන්ධිගේ මුණුපුරා වන ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි, මෝඩි අගමැති වුණ වොවේ ඔහුට විවෘත ලිවුමක් ලිව්වා. ඒ ලිවුමෙදී ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි ඇහුවා ඔබේ ආර්ථික වැඩපිළිවෙළ තුළින් හදන්න යන ඉන්දියානු පුරවැසියා තොරතුරු තාක්ෂණය ගැන හසල දැනුමක් තියෙන, නමුත් ඕනෑම වෙලාවක මුස්ලිම් දේවස්ථානයක් ගිනිතියන්න සූදානම් කෙනෙක් ද කියලා. මොකද මෝඩි කියන්නේ අගමැති වෙන්න කළින් ලංකාවේ බොදුබල සේනාව වගේ අන්ත ජාතිවාදියෙක් වුණ නිසා. 

භාවිත අර්ථයෙන් ගොඩනැගුණු STEM  වගේ අධ්‍යාපන සංකල්ප STEAM වගේ සංකල්ප දක්වා පරිණාමය වෙන්නේ ලෝකය සාකල්‍යවාදී අධ්‍යාපනය කෙරේ නැඹුරු වුණ නිසාද?

ඇත්ත. විශේෂයෙන් මේ ගැටලුව අපට බලපාන්නේ අපි අපේ දරුවන් හරිම ඉක්මනට යම් යම් ධාරාවන්ට කඩන නිසා. සාමාන්‍ය පෙළ පංතියේදි වගෙමයි පටන්ගන්නෙ ළමයින් ධාරාවන්ට කඩන එක. ලංකාවට අමතරව මං වැඩිපුරම දන්න ඇමරිකාව තුළත් අනෙක් දියුණු රටවලත් මේ විදිහේ ඉක්මනකින් ළමයි විෂයයන්ට බෙදන්නෙ නෑ. මොකද අවුරුදු දාහතර පහළව කියන්නේ ළමයින්ගේ විඥානය වර්ධනය වෙන්න පටන්ගන්න කාලය. ඒ නිසා විද්‍යා විෂ්‍යයන් තෝරගත් ළමයින්ට සාමාන්‍ය පෙළින් පස්සෙ මානව ශාස්ත්‍ර විෂ්‍යයන් සමග කිසිම ඇසුරක් නැතිව යනවා. 

අනික් පැත්තට බලද්දි ස්වභාවික විද්‍යා, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ගණිතය වගේ විෂයන්වල යම් කිසි දර්ශනයක් තියෙනවා. නමුත් තොරතුරු තාක්ෂණය, සහ කළමණාකරණය  සහ බොහෝ වාණිජ   විෂ්‍යයන්වල ඒ  විදිහේ  දර්ශනයක් නෑ. ඒවා තියෙන්නේ හුදෙක් මේ පවතින ධනවාදී ක්‍රමය ඇරන් යන  ප්‍රායෝගික විෂ්‍යයන් විදිහට. ඒවා දාර්ශනික අතින් සෑහෙන දුප්පත් විෂ්‍යයන්. මානව සම්පත් කළමණාකරණය වගේ ඇතැම් කළමණාකරණ විෂ්‍යයන් තුළටත් දැන් වනකොට යම් කිසි දාර්ශනික හරයක් ගේන්න උත්සාහ ගන්නවා පේනවා. නමුත් මූලික වශයෙන් ඒවා පවතින්නෙ අර කියූ විදිහට. ඒ තත්ත්වය තුළ මේ විදිහේ ධාරාවලට බෙදලා සාකල්‍යවාදී අධ්‍යාපනයක් ගොඩනගන්න බෑ.

කළින් කිව්වා වගේ, ඇමරිකාව වගේ රටවලනම් ශිෂ්‍යයින් ඔය තරම් තරුණ කාලේ මේ විදිහට විෂ්‍යයන්වලට වෙන් කරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි වෛද්‍ය, ඉංජිනේරු සහ වාණිජ වගේ විෂ්‍යන් හදාරන ළමයි සාහිත්‍ය, ඉතිහාසය, දර්ශනය වගේ මානව ශාස්ත්‍ර විෂ්‍යන් කිහිපයක් අනිවාර්යයෙන් හදාරන්න ඕන.

මට මතකයි කොර්නෙල් විශ්වවිද්‍යාලය ඉතාමත් අපූරු වැඩක් කළා. විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවලට අලුතෙන් එන්න නියමිත ශිෂ්‍ය කණ්ඩායම්වලට ඒ අය ඇතුළත් කරගැනීමේ ලේඛනත් එක්ක නවකතා පොතක් හෝ දෙකක් තැපැල් කරලා යවනවා. ඒ විශ්වවිද්‍යාලෙට එනකොට කියවලා එන්න. ඒ අය පොත කියවලා විශ්විද්‍යාලයට ආවම ඒ පොත ගැන අවුරුද්ද පුරා සංවාද තියනවා. ඒ පොත් පදනම් කරගෙන ළමයින්ට රචනා තරග වගේ ඒවත් පවත්වනවා. මට මතකයි එක අවුරුද්දක එහෙම යැව්වේ කෆ්කාගේ The Trial. තවත් අවුරුද්දක යැව්වේ අචිබෙගෙ Things Fall Apart. එක අවුරුද්දකට සියලුම පීඨවල ළමයින්ට පොත් තුන්දාහක් විතර යවන නිසා සමහර පොත්වල විශේෂ එඩිෂන්ස් පවා තිබුණා. මට මතකයි The Trial පොතේ ඒ විදිහට කොර්නෙල් යුනිවර්සිටි එඩිෂන් කියලා විශේෂ සංස්කරණයකුත් තිබ්බා. ඒ වගේම ඒ පොත් ගැන ප්‍රසිද්ධ මහාචාර්යවරුන් ගෙන්වලා දේශන පවත්වනවා.  එක අවුරුද්දක Things Fall Apart ගැන කතාකරන්න අචිබෙත් ආවා. සාකල්‍යවාදී අධ්‍යාපනය අරමුණු මනාව ඉටු කරගන්නනම් ඒ විදිහේ නිර්මාණාත්මක දේවල් කරන්න වෙනවා. 


මේ විදිහේ විෂ්‍යයන් ඉගනගන්න සිසුන්ට මානව ශාස්ත්‍ර විෂ්‍යන් ඉගැන්වීම තුළින් පමණක් අධ්‍යාපනයේ පරමාර්ථ ගොඩනැගෙනවා ද? අනික් පැත්තට මානව ශාස්ත්‍ර හදාරන ශිෂ්‍යාට විද්‍යාව, ගණිතය සහ කළමණාකරණය වගේ විෂ්‍යන් ඉගැන්වීම අවශ්‍ය නැද්ද?

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මානව ශාස්ත්‍ර ඉගනගන්න ළමයින්ටත් විද්‍යාවේ දර්ශනය වගේ විෂ්‍යයන්  උගන්නන්න ඕන. එතකොට ඒ අය ඉගනගන්නවා විද්‍යාව කියන්නේ මොකද්ද. විද්‍යාව තියෙන්නෙ ඇයි සහ මොකද්ද විද්‍යාවෙන් ශිෂ්ටාචාරයට කරන කාර්යභාරය කියලා. එහෙම ඉගනගත්ත දරුවා දැනගන්නවා විද්‍යාව තියෙන්නේ මානව වර්ගයාගේ යහපත පිණිස මිස, ලොකු ගෙවල් හදාගන්නවත් ලොකු කාර් ගන්නවත් නෙමෙයි කියලා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සාකල්‍යවාදී අධ්‍යාපනික උපක්‍රමයක් හැටියට අපි පදනම් පාඨමාලා කියලා මේ විදිහේ පාඨමාලා කිහිපයක් කරනවා. නමුත් ඒ කරන්නෙත් ශාස්ත්‍ර පීඨයේ ළමයින්ට විතරයි. ඒක ශාස්ත්‍ර පීඨයට විතරක් නෙමෙයි සියලු පීඨයන් තුළ සිදුවෙන්න ඕන. විචාරාත්මක පුරවැසිභාවය කියන්නේ මොකද්ද කියන දේත් කලා රස වින්දනය පිළිබඳ මූලික අවබෝධයක් හැම කෙනෙක්ටම තියෙන්න ඕන.


කලාව සහ මිනිසා කෘතිය පුරවැසිභාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ කාරණා ඍජුව ඉදිරිපත් කරන්නෙ නෑ. ඔබ කල්පනා කරන කලාව සහ මිනිසා ලාංකික පොළව තුළ මේ සංවාදයට දායක වෙන්නෙ කොතනින්ද?

මේ කාරණා තදින් අවධාරණය කරන්න ඕන කියන එක අපේ මූලික අරමුණක් වෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගල පටන්ගැනීමත් එක්ක. ඒ අරගලයේදී අපි උත්සාහ කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනින් ගමන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරයා යනු කවරෙක්ද ඔහුගේ වගකීම් මොනවාද වගේ දේවලුත් නැවත සැලකිල්ලට ගන්න. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ බහුතරය විශ්වවිද්‍යාල ආචාර්යවරයා කියන්නෙ කවුද  කියලා දන්නෙ නැති  අය බව අපිට පෙනී ගියා. අපි කළින් කිව්වානෙ වෛද්‍යවරු සහ ඉංජිනේරුවන් වගේ අය බොහොම ඒකමානීය පිරිසක් කියලා. නමුත් අපිට පෙනුනා විශේෂයෙන් මානවශාස්ත්‍ර පීඨයන්හි ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයා අරිටත් වඩා ඒකමානීය බව. මේ විදිහේ මානවශාස්ත්‍ර, අධ්‍යාපනය සහ කලාව පිළිබඳ සංවාදයට දායක වන විශ්වවිද්‍යාල ආචාර්යවරු කීයෙන් කීයද රටේ ඉන්නේ. ඒකෙන් පේන්නේ ඒ අයට සාකල්‍යවාදී දැක්මක් තියා තමන්ගේ ක්ෂේ්‍රත්‍රය පිළිබඳවවත් නිවැරදි දැනුමක් නැති බව. කොහොම වුණත් අපේ ඒ වෑයමේ මුල්ම ප්‍රතිඵලය තමයි ‘මර්තා නස්බෝම්ගේ’ කලාව කුමකටද පොත. අර්වින් එඩ්වින්ගේ කලාව සහ මිනිසා ගේන්නෙත් එහෙිම දිගුවක් විදිහට තමයි. 

ඔබ මතු කළාා වගේ, දර්ශනය පිළිබඳ ඇමරිකානු මහාචාර්යවරයෙක් වන අර්වින් එඩ්මන්ට බොහෝවිට අපිට තියෙන ප්‍රශ්න තිබුණෙ නෑ. මොකද කලින් කිව්වා වගේ ඒ රටේ ශිෂ්‍යයින්ට විද්‍යාවන් වගෙම මානවශාස්ත්‍රත් අහුවෙනවා. ඒ නිසා මේක අපි ලංකාවෙ තියන තැන එඩ්මන්ට ඇමරිකාවෙදි තියන්න අවශ්‍ය නෑ. 

අනික් අතට ඒ අයට අධ්‍යාපනය සාකල්‍යවාදීව තියාගන්න එකත් ලේසියි. මොකද ඒ අයට විශාල ආර්ථික පදනමක් තියෙනවා. ඒ වගේම ඒ අයට අධිරාජ්‍ය බලය තියෙන නිසා අනික් රටවල කෙසේවෙතත් තමංගේ රට ඇතුළේ සාපේක්ෂක වශයෙන් හොඳ ආර්ථිකයක් පවත්වාගෙන යන්න පුලුවන්. ඒ නිසා ඉතිහාසය පුරාම වෛද්‍යවරයායි පාසල් ගුරුවරයායි අතර විශාල දූරාවලි වෙනසකුත් නෑ. අපේ රටේ දොස්තර කෙනෙක් කිව්වාම දෙවි කෙනෙක් වගේනෙ. නමුත් ඒ රටේ එහෙම නෑ. පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ හුරුවක් තියෙන රටවල් නිසා හැම මනුෂ්‍යයාටම එක විදිහට මනුෂ්‍ය ගෞරවය තියෙනවා. අපිට ඇමරිකාව විදිහටම ඒ දේවල් පවත්වාගෙන යන්න අපහසු බව ඇත්ත. නමුත් අපි අධ්‍යාපනය පිළිබඳ ඒ දෘෂ්ටිය අතඇරගන්න හොඳනෑ. මොකද එහෙම වුණොත් ඒක ආපහු ගොඩනගන්න බෑ. 

මේ පොතට දීර්ඝ පෙරවදනක් දීලා මං මේ පොත එතැන ස්ථානගත කරන්නේ ඒකයි. අනික් අතට මේක කාව්‍යාත්මක සහ සිත්ගන්නා සුලු පොතක්. ඒ වගේම ඉතාමත් ගැඹුරුයි. කළින් පොත වගේම මේකත් මේ රටේ ගුරුවරුන්ගේ අත් පොතක් වීමට තරම් වටින එකක්. 

සංවාදය - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


අනිද්දා - 2018.08.05


https://www.anidda.lk/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F/


Monday, June 21, 2021

රසවාදය හා සංස්කෘතික සාපේක්ෂතාව ; මිතුරු - පසමිතුරු ප්‍රතිචාර පිළිබඳ අධ්‍යනයක් - 02 කොටස



සංස්කෘතික සාපේක්ෂතාව රසවාදයට දක්වන ප්රතිචාර

 

රසවාදීන් ප්‍රකාශයට පත් කළ 'රස සංකල්පය', කලා කෘතියකින් සහෘදයා පසක් කරගන්නා භාවමය අනුභූතියේ සූක්ෂ්ම පක්ෂය වචනයෙන් ප්‍රකාශ කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස අපි මීට කළින් ප්‍රකාශ කළෙමු.

රසවාදය වැනි භාරතීය විචාර සංකල්පයන් පිළිබඳ විමසා බැලීමේදී අපට භාරතීය අනන්‍යතාවන් අමතක කළ නොහැක. භාරතීය සමාජය ලාංකීය සමාජයත් සමග සංසන්දනය කිරීමේදී එදා මෙන්ම අදත් අතිශ්‍ය කැපී පෙනෙන වෙනස්කම් රාශියක් තිබේ. එය තවත් බටහිර රටක් සමග සසඳා බැලීමේදී දෙරට අතර ඊටත් වඩා වැඩි වෙනස්කම් රාශියක් පෙනීමට ඉඩ ඇත. 

මෙකී සංස්කෘතික වෙනස්කම් භූගෝලීය සීමාවන් මත පමණක් රඳා පවතින ඒවා නොව ඒවා ඊටත් වඩා සියුම් සංකීර්ණතාවන්ගෙන් යුතු ඒවා වේ. වෙනකක් තබා ඉන්දියාව තුළම අතිශ්‍ය වෙනස්කම් සහිත සංස්කෘතික පසුබිම් රාශියක් ඇත. විවිධ ජාතීන් රාශියක් ඇත. ඒ අය විවධ ආගම් අදහති. ඒ අය විවිධ කුලවලට අයත් වෙති. විවිධ වයස් මට්ටම්වලට අයත්වෙති. විවිධ පංතිවලට අයත්වෙති. ලිංගික බේදයන්ටද අයත් වෙති. ඒෙහයින් රසවාදය පැහැදිලි කරන සතර අභිනයන්ගේ නිරූපිතයන් සෑම දෙනාටම එකම අයුරින් හැඟේයැ’යි කල්පනා කිරීම අසීරුය. සෞන්දර්ය මූලධර්මයක් හැටියට රසවාදය ගැනීමේදී සහෘදයාගේ සංස්කෘතික පසුබිම අමතක කරන්නට බැරි වන්නේ එම නිසාය. 

'සඳෙහි ආවාට' යනු, ලාංකික සිංහලයාගේ සංස්කෘති ක ඇස තුළ දකින්නේ හාවෙකු චිත්‍රණය කර ඇති ආගමික හැඟවුමක් ඇති වස්තුවක් හැටියටය. එකී සංස්කෘතික වපසරිය තුළ සක්‍ර දෙවියා විසින් අඳින ලද සා රුවක්  අපි සඳ තුළ දකිමු. නමුත් දෙමළ ජනයාත් සඳේ ආවාට දකින්නේ අපේ සංස්කෘතික වස්තුවක් වූ 'සස ජාතකයෙන්’ අපගේ සංස්කෘතික මනස පෝෂණය කර ඇති අයුරින්මද? නැත.  දෙමළ ජනයා ඒ කළු පැල්ලම් දකින්නේ 'මහලු කාන්තාවක’ හැටියටය. එපමණක් නොවේ ඔස්ටේ්‍රලියානු ජනයාට හඳේ ආවාට පේන්නේ 'කිරි කළයක් හිසේ තබාගත් කෙළිලොල් තරුණියක’ ලෙසය. එසේම චීන සංස්කෘතික වපසරියක හික්මවනු ලැබූ ජනයාට හඳේ ආවාට 'ඌරු පැටියකු’ සිහිගන්වයි.

නූතන විද්‍යාවට අනුව සඳ තුළ පියවි ඇසට නිරීක්ෂණය වන ඒ කලු පැල්ලම්  ලොව කොතන සිට කවර සංස්කෘතික පසුබිමක සිට බැලුවත් හුදෙක් “ආවාට” වූවද කලාව තුළ එය එසේ නොවේ. මක්නිසාද එය සංස්කෘතික පදනමක් සහිත වන නිසාය. ඒ අනුව රසවාදීන් පවසන අයුරින් අපි යම් කලා කෘතියක සඳ යන්න ගෙන බැලුවහොත් (එය වාචිකාභිනය තුළට ගත්තොත් හෝ ආහාර්ය අභිනය වැනි වෙනත් අභිනයක් තුළ සඳ නිරූපණය කළහොත් හෝ එසේත් නැතිනම් යම් සාහිත්‍ය කෘතියකිසඳ’ යන සංකල්ප රූපය යොදාගතහොත්)  එය අසන දකින සිංහල බෞද්ධයාට ඉන් ලැබෙන රසයත්. දෙමළ රසිකයකුට ඉන් ලැබෙන රසයත් ඕස්ටේ්‍රලියිනුවකුට හෝ චීන ජාතිකයකුට ඉන් ලැබෙන රසයත් එකකැයි කිව හැකිද? එය සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය.

‘සඳ’ පිළිබඳ ඉහත සරල උදාහරණය එහි සඳහන් කළ පරිදි දේශසීමා තුළ පමණක් ගොනු කිරීම ද එතරම් ම ප්‍රාමාණික නොවේ. එකම රටක එකම සංස්කෘතියක සිටින මිනිසුන් දෙදෙනෙකුටද කලා කෘතියක් පදනම් වෙමින් මැවෙන සංකල්ප රූප දෙආකාර විය හැක. යම් කලා කෘතියක “සඳ” නමැති සංකල්ප රූපය තියෙද්දී එය කීප දෙනෙකුට කීප ආකාරයෙන් හැඟී යා හැකි බව මහාචාර්ය විමල් දිසානායකයන් මෙසේ පෙන්වා දෙයි. 

“.. සඳ යන වචනය සිල්වත් තැනැත්තකු තුළ භක්තිපූර්ව ප්‍රසන්න හැඟීමක් දැනවීමටත්, සිය පෙම්වතිය සමග ගං තෙරේ සිට සඳ රැසින් නැහැවුණ දියකඳ දෙස බලා සිටියකු තුළ ශෘංගාරාත්මක හැඟීමක් දැනවීමටත්, පුර හඳ බැබැලුණු රැයක අවසන් හුස්ම හෙලූ සිය නැගෙනිය ගැන දුක්වන්නකු තුළ අතිශ්‍ය ශෝකාකූල හැඟීම් දැනවීමට ඉඩ ඇත”  (නව කවි සරණිය - 13 පිට) 

ඒ අනුව භාෂාත්මක කලා කෘතියක “සඳ” යන වචනය මුද්‍රණය වී තිබෙනු දකින පාඨකයාත්, සිනමාව, ටෙලි නාට්‍යය වැනි දෘෂ්‍ය කලා කෘතියක සඳ නිරූපණය වනු දකින ප්‍රේක්ෂකයාත්, ගුවන්විදුලි නාට්‍ය හා ගීතය වැනි ශ්‍රව්‍යමය කලා කෘතියක සඳ නමැති වචනය ශ්‍රවණය කරන ශ්‍රාවකයාත්  වේදිකා නාට්‍යක සතර අභින අතරේ වාචිකාභින ස්වරූපයෙන් හෝ ආහාර්ය අභින ස්වරූපයෙන් සඳ යන්න අත්විඳින රසිකයාත් ඒ අනුව ලබන රසය ඒකාකාරී නොවීමට ඉඩ ඇත.  

මේ කාරණය පැහැදිලි කරගැනීමට අප නූතන සිංහල කවියක් විමසා බලමු. 


හයිකුවක් වගේ කවියක්

================

දිරූ කඩුල්ලෙන් පැන

තණකොළ

දොරකඩින් එබෙයි


ගෙතුළ අඳුරුයි

පහන් නිවිලා

ගෙහිමි සුරත

බිඳිලා 

(ආරියවංශ රණවීර ‘සඳ ඇබින්දක් - 21 පිට)

 

ලංකාවේ සිටින අතිශ්‍ය වැදගත් කවියකු වන ආරියවංශ රණවීරයන්ගේ අපූර්ව කෙටි නිර්මාණයක් වූ මෙය හයිකුවක් තරමටම වාච්‍යාර්ථය ඉක්මවාගිය අතිශ්‍ය පුලුල් අදහස් දනවන නිර්මාණයකි.  

මෙම නිර්මාණයේ හුදු වාච්‍යාර්ථය ලෙස ‘සුරත බිඳුණු’ පුද්ගලයෙකු හෙවත් අබ්බගාතයකු සතු නොහැකියාව හා අසරණභාවය සූචිත ය. ඔහු හට ගෙතුළ දක්වා වර්ධනය වී ඇති තණකොළ උගුල්ලා දැමීමට හෝ අඳුරෙන් මිදීම සඳහා ප්‍රදීපයක් දැල්වීමට හෝ නොහැක. මක් නිසාද යත් ඔහු අබ්බගාතයකු වන හෙයිනි. ඒ අනුව මෙකී කවිය බැලූ බැල්මට සාමාන්‍ය පාඨකයාට මතුකරන රසය කුමක්ද? එය බොහෝ විට හාස්‍ය රසය හෝ ශෝක රසය විය හැක.

නමුත් මෙම නිර්මාණය සතු පුළුල් අර්ථ රාශිය එකී සරල වාච්‍යාර්ථය ඉක්මවා යයි. එය සතු එක් කාව්‍යම අරුතක් ‘ගෙහිමි සුරත නම් වචනය ප්‍රතිෂ්ඨා කොට අපට මෙසේ කියැවිය හැකිය. ගෙහිමි සුරත යනු, ශ්‍රීලාංකික සම්භාව්‍ය සංස්කෘතිය තුළ බිරිඳක හඟවන අන්‍යාලාපයකි. ඊට අනුව බිරිඳක සැබැවින් ම ගෙහිමියාගේ සුරත මෙනි. ඒ අනුව ගෙහිමි සුරත බිඳී තිබීමෙන් බිරිඳකගෙන් වියෝ වූ පුරුෂයකු අඟවයි. එනම් එක්කෝ ඇය මියගොස් ඇත, නැතිනම් ඇය වෙන්වී ඇත. කෙසේ හෝ මෙතුළින් කනවැන්දුම් පුරුෂයකු පිළිබඳ ඉඟිකරනු ලැබේ. ඒ අනුව එකී සංස්කෘතික යතුර ඒ මට්ටමට අත්පත් කරගත් රසිකයා මේ නිර්මාණය තුළින් ම අරිට වඩා වෙනස් රසයක්, බොහෝ විට කරුණ රසයක් වැන්නක් අත්පත් කරගැනීමට ඉඩ ඇත. ඒ අනුව පළවෙනි රසිකයාගේත් දෙවැනි රසිකයාගේත් එකම වෙනස වූයේ ඔවුන් දෙදෙනා අත්පත් කරගෙන සිටින සංස්කෘතියෙහි පරතරයයි.

එනයින් දිරූ කඩුල්ලෙන් පැන තණකොළ දොරකඩින් එබීමෙන් පහන් නිවී තිබීමෙන් බිරිඳක නොමැති කුටුම්භයක් තුළ සැමියා සතු හුදකලාවත් පාළුවත් යමක් කරගත නුහුනු බවත්  නිරූණය වේ. 

“ගෙතුළ අඳුරුයි

පහන් නිවිලා”


යන පද්‍ය ඛණ්ඩය ගත් කළ ඉතා ජනප්‍රිය තවත් සංස්කෘතික කියමනක් සිහිකරවන සුලු‍ වේ. එනම් ‘පහන පත්තු නොකළදාට ගෙදර එළිය බිරිඳක මගින් ලැබෙන බවයි. මෙම කුට්ටුම්ය බිරිඳකගෙන් වියෝ වූවක් හෙයින් එය තවදුරටත් කුටුම්භයක් නොවන අතර එය අඳුරු ද වී ඇත. තවද භෞතිකමය ලෙස ප්‍රදීපයක් දැල්වීමට මෙම වියෝව සැමියාට හිත නොදේ. ඔහුගේ සමස්ත ජීවිතය ම වල්වැදී හා අන්ධකාරයේ ගිලීගොස් ඇත. එසේනම් මෙම පද්‍යය තුළින් තවත් පසකින් පෙනෙන්නේ ‘බිරිඳ  යන සංස්කෘතිකමය සංකල්පය උත්කර්ශයට නන්වා ඇති තත්ත්වයක් නොවේද? එසේනම්, මෙතරම් දුරට කවියෙහි සංස්කෘතික මානයන් ලිහාගත් රසිකයාට මේ කවිය තුළින් ඇතිවන රසය කුමක්ද?

සැබැවින්ම ආරියවංශ රණවීරයන් වැනි බුහුටි නිර්මාණ කරුවෙක් හුදෙක් බිරිඳක උත්කර්ෂයට නගා තිබීමෙන් පමණක් තම නිර්මාණයන් කෙරේ පැහැදෙන්නේ නොවන බව සියුම් රසිකත්වයක්ද, කියවා හුරුවක්ද ඇති, තවදුරටත් සංස්කෘතිකවත් රසිකයකුට සිතී යා හැක. ඒ අනුව සැබැවින්ම ශ්‍රීලාංකීය සංස්කෘතික කුටුම්භමය ජීවිතය තුළ ඇති පුරුෂෝත්තම නැමියාවන් සහ ඇබ්බැහිකම් ඉතා  සියුම්ව ප්‍රශ්න කිරීම මෙහිලා කවියා ස්වකීය මුඛ්‍ය ස්වාර්ථය කොට ඇති බව ඔහුට වැටහී යා හැක. ඒ කෙසේද යත්,

“දිරූ කඩුල්ලෙන් පැන

තණකොළ

        දොරකඩින් එබෙයි”


යන්න තුළින් සැබැවින්ම කවියා කරනුයේ බිරිඳකගෙන් වියෝවූ පුරුෂයකුගේ හුදකලාව සරල සංකල්ප දක්වා බිරිඳක උත්කර්ෂයට නැගීම නොවේ. බිරිඳක විෂයෙහි වූ ස්වාමියා සතු පාරම්පරික සංස්කෘතික නැමියාවන් ප්‍රශ්න කිරීමයි. මිදුල පුරා තණකොළ වැවී ඇත. එහෙත් ස්වාමියා ඒවා උගුල්ලා දැමීමට උත්සහ නොගනී. මක් නිසාද යත් ඒවා බිරිඳක සතු අනිවාර්ය කාර්යයන් එසේත් නැතිනම් ඇය සතු වගකීම් ලෙස සැලකන හෙයිනි. පුරුෂයාගේ කාර්යයන් තුළට ඒවා අයත් නොවේ. එහෙයිනි ඔහු ‘සුරත බිඳුණු අබ්බගාතයකු ලෙස බලා සිටිනුයේ. 

“ගෙතුළ අඳුරුයි

පහන් නිවිලා”

යනන් ද ස්ඵූට කරනුයේ යට දැක්වූ යථාර්ථයම ය. අඩුම තරමේ නිවසෙහි අන්ධකාරය නැතිකීරීම සඳහා පහනක් පත්තු කර ගැනීමට ද පුරුෂයාට හිත නොදේ. මක්නිසාද ඒවා බිරිඳක එසේත් නැත්නම් ස්ත්‍රියක විසින් ඉටු කළ යුතු කාර්යයන් ය. නැතිනම් ගෑනු වැඩය! මෙහි එන,


“ගෙහිමි සුරත 

බිඳිලා”


යන පද්‍යය ඛණ්ඩයෙහි එන, ගෙහිමි සුරත යන්න වඩාලාත් උත්ප්‍රාසය දනවයි. එනම් ‘සැමියාගේ වැඩ කටයුතු කරගැනීමට ඇති සුරත ය බිරිඳ! මෙම ගෙහිමි සුරත ස්ත්‍රිය හෙවත් බිරිඳ වේ යන සංකල්පය යට දැක්වූ පරිදි සාම්ප්‍රදායිද සංස්කෘතිය තුළින් නිර්මාණය වූ සංකල්පයකි. ඒසේනම් දෘෂ්ටිවාදයන්ගේ ප්‍රධාන වාහකය ආගම සහ සංස්කෘතිය බව ස්ත්‍රිවාදීන්, මාක්ස්වාදීන් ඇතුළු බොහෝ දාර්ශනික සම්ප්‍රදායන් නූතනය තුළ හඳුනා ගැනීම අභියෝගයට ලක් කිරීම සූකර නොවේ. එසේනම් බිරිඳක විසින් කළ යුතුයැයි සාම්ප්‍රදායික දෘෂ්ටිවාදයන් තුළින් නිර්වචනය වූ ‘පහනක් දැල්වීම වැනි අතිශය සරල ක්‍රියාවක් කිරීමටවත් පුරුෂයාට හිත නොදේ. එය ඔහුට මදිකමකි. ගෙතුළ වල්වැදී අඳුරු වී ඇත්තේ එහෙයිනි. 


යට කී ලෙස පුරුෂෝත්තම සංස්කෘතික සංකල්ප මේ අනුව මෙකී පද්‍යය සඳහා බලපා ඇතැ’යි යන්න සඳහා ප්‍රත්‍යක්ෂ උදාහරණයක් මෙසේය. මෙය තවත් අතකින් සංස්කෘතික දෘෂ්ටිවාදයන් බිහිකිරීමේලා ආගමික දායකත්වය ද ස්ථූට කරයි. එනම් එය යට සඳහන් කළ කාව්‍යශේඛරයේ බමුණා දියණියට දෙන උපදෙස් අඩංගු පද්‍යකි.


නිති ගේ දොර             අමැඳ

කැළි කසළ දැක නොම ඉඳ

උදෑසන සවස                     

පහන් දල්වව විමන නො වරද

    (කාව්‍යශේඛරය - ඥානවිමල කිරිඇල්ලේ සංස් - 10 සර්ගය - 25 කවිය - 44 පිට)  


“අයි.ඒ. රිචඩ්ස්” නම් ප්‍රකට විචාරකයා කවියාත් රසිකයාත් දෙදෙනාගේ කාර්යය පිළිබඳ විස්තර කළේ අපූර්ව උපමාවකිනි. කවියා තම මහාර්ඝ නිර්මාණය වන කවිය මංජුසාවක දමා ඉවත් වන බව ද, රසිකයා පැමිණ එය ඇර බලා පාදා ගත යුතු බව ද ඔහු පැවසී ය.

මේ වූ කලී රසිකයාගේ කාර්යයේ බැරෑරුම්කම විදහා පාන්නකි. කවි නිමිත්තකින් පාරන ලද හදැ’ති කවියා ප්‍රභර්ෂයත් පීඩනය ත් එකවැරම විඳිමින් කවිය පරිපූර්ණත්වයට පත් කළ අනතුරුව, හැව දමා යන නාගයකු සේ එය අත්හැර තවත් උපතක් සොයා යයි. නිමැවූ කවෙහි හැඩරුව බැලීමට රසිකයාට සිදු වේ. ”  ‍

(වීරසිංහ නන්දන, චන්ද්‍ර බිම්බ‍)  

රසිකයාගේ කාර්යය බැරෑරුම් වන්නේ ඔහුගේ සංස්කෘතික අනන්‍යතා නිසා බව පැහැදිලිය. සතර අභිනයකින් හෝ භාෂාව භාවිතයකින් කලා කරුවා ලබා දෙන සංකල්ප රසිකයා ඒ ආකාරයෙන්ම රස විඳීමටනම් කලාකරුවාත් රසිකයාත් එකම සංස්කෘතික පසුබිමක සිටිය යුතු බව එනයින් ද පැහැදිලිය.

අවශ්‍යනම් අපිට ‘හයිකුවක් වගේ කවියක් නම් මේ අපූර්ව නිර්මාණය තව දුරටක් සංස්කෘතිකමය සංකේතයන් මගින් වෙනස් ආකාරයේ ලිහාගැනීමට උත්සාහ දැරිය හැකිය. ඒ අනුව මෙම පද්‍යයේ සමස්ථාර්ථය ‘දිරූ කඩුල්ල නම් සංකේතයට දෙමු.


 “දිරූ කඩුල්ලෙන් පැන

 තණකොළ

 දොරකඩින් එබෙයි”

‘කඩුල්ලක් වනාහි භෞතිකමය වශයෙන් නිවසකට ආරක්ෂාව සලසන ආරක්ෂකයා ය. නිවසක ආරක්ෂාව හා  ස්වාධීනත්වය රැකගැනීමත් අන්‍ය බලපෑම් නිවස කරා ඒම වැලැක්වීමත් අරමුණු කොට කඩුල්ලක් සුභාවිත ය. ඒ අනුව මෙම නිවසේ කඩුල්ල දිරා ගොස් ඇත. එසේනම් මින් අදහස් කරන සංකේතය කිමෙක්ද? සාම්ප්‍රදායික පුරුෂෝත්තම සමාජමය කුටුම්භයක ආරක්ෂාව හා මූලිකත්වය පැවරී ඇත්තේ පුරුෂයා මතය. ඒ අර්ථයෙන් මෙම පද්‍ය ඛණ්ඩය තුළින් ස්වාමියා මියගිය හෝ වෙන් වූ නිවසක් හෙවත් වැන්දඹු හෝ ස්වාමියාගෙන් වෙන් වූ බිරිඳක පිළිබඳව ඉඟි කරයි.

“තණකොළ

දොරකඩින් එබෙයි”


යන පදය ඛණ්ඩය සැමියාගෙන් වියෝවූ බිරිඳකට බාහිර සමාජයෙන් එන නින්දා, අපහාස, දුක්, පීඩා සංකේතවත් කරයි. පුරුෂෝත්ම සමාජක් තුළ  සැමියා වියෝ වූ කාන්තාවකට විඳීමට සිදුවන මෙවන් කරදයන් අනේකවිධ වේ. එහෙයින් මෙම සංකේතය එකී යථාර්ථය මනාකොට සූචනය කිරීමට සමත් ය.


“ගෙතුළ අඳුරුයි

පහන් නිවිලා”


මෙය සැමියකු නැති බිරිඳකගේ  ජීවිතය වෙලා පවත්නා අන්ධකාරය නිරූපණය කරනවා පමණක් නොව තවත් ගැඹුරු කියැවීමේ කාර්යයකට බඳුන් කළ හැකි සංකේතයකි. එනම් මෙහිලා නිවී ඇත්තේ ‘ප්‍රඥාවේ ප්‍රදීපයයි. සරල ලෙස ගත් කල පුරුෂෝත්තම සමාජය තුළ බිරිඳකගේ සියලු‍ තීරණ හා දැකීම් පුරුෂයා මතම රඳා පවතිනු දක්නා ලැබේ. 

(මෙහිදී අප කියවා ඇති එක්තරා මනෝ විද්‍යාඥයකුගේ ප්‍රකාශයක් සිහියට ඒ. ඔහුට අනුව නූතන ධනවාදී සමාජයේ, ස්ත්‍රිය කියා කෙනෙක් නැත. (එවන් සමාජයක) ඇයට ස්වාධීන වූ චින්තනක් නොමැති හෙයිනි. ඇගේ සමස්ත චින්තනය ම රඳා පවතින්නේ පුරුෂයා මත ය. ඔහුට අනුව හමුදා සෙබළාගේ පෙම්වතියට ඇති විශාලතම ගැටලු‍ව යුද්ධය වන අතර, ව්‍යාපාරිකයකුගේ පෙම්වතියට ඇති ප්‍රධාන ගැටලු‍ව කොටස් වෙළඳපළයි.! )

සැමියාගෙන් වියෝ වූ මෙම බිරිඳට කර කියාගත හැකි කිසිත් නැත. ඇය මෙතෙක් කල් ලෝකය දෙස බැලු‍වේ ඔහුගේ ඇසිනි. ජීවිතයේ අඳුරු ආගාධයන්හි නොවැටී ඈ ගමන් කළේ ඔහුගේ ආලෝකයෙන් මග හෙළි පෙහෙළි කර ගනිමිනි. නමුත් දැන් එකී ප්‍රදීපය සදාකල් නිවීගොස් ඇත. එහෙයින් ඇගේ සමස්ත ආත්මයම අන්ධකාරයේ ගිලී ඇත. ඒ විශේෂයෙන් දකුණු ආසියාතික පුරුෂෝත්තම සමාජයේ වැන්ධඹුවකගේ ඛේදනීය ඉරණමයි. එසේනම් කුටුම්භය පිළිබඳ ඊට වඩා වෙනස් සංස්කෘතිකමය කියවීමක් ඇති බටහිර හෝ‍, සිංහල බෞද්ධ හෝ භාරතීය යති දෘෂ්ටියෙන් තරමක් වෙනස් වන සංස්කෘතියක් හිමි වෙනත් චින්තනයක් උරුම වූ රසිකයකුට හෝ මේ කව  ඒ අයුරින්ම ග්‍රහණය වේද? නොඑසේමය. 


“ගෙහිමි සුරත 

බිඳිලා”


යන පද්‍ය ඛණ්ඩය තවදුරටත් රූපකාර්ථවත් වූවක් ලෙස කියැවිය හැකිය. එනම් මෙහිලා බිඳී ඇත්තේ ‍‘ගෙහිමි නම් වූ සුරතයි. ඒ අනුව මෙම ස්ත්‍රිය සතු යමක් කරකියාගත නුහුණු බව මනාකොට මෙමගින් චිත්‍රණය වේ. බාහිරින් විත් නිවස වල්වද්දන විවිධ බාධක සහ කරදරයන් එඩිතර ලෙස නැවත්වීම සඳහා දැන් ඇයට ශක්තියක් නැත. මේ අනුව දැන් ඇය සැබැවින් ම සුරත බිඳගත් අසරණ තැනැත්තියක මෙනි. 

මේ අනුව ආරියවංශ රණවීරයන්ගේ ඉතාමත් සංක්ෂිප්ත වූ මෙම හයිකුවක් වන් මහඟු‍ කාව්‍යය ඉතාමත් සියුම් සංස්කෘතික පදනම් සහිතව විවිධාකාරයෙන් කියවිය හැකි බව පෙනේ. එසේනම් අවසාන මට්ටමට කවියේ සංස්කෘතික පසුබිම අත්පත් කරගත් රසිකයාට රසවාදය අනුව දැනෙන රසය මුල් රසිකයින්ට දැනුනු ඒවාට වඩා වෙනස් වෙන්නට බැරිද? මීට වඩා වෙනත් සංස්කෘතික හුරුවක් ඇති සහෘදයෙක්ට මේ කවිය නිර්මාණය කර ඇති වචනයන්හි වෙනස්ම අර්ථ දකින්නත් ඒ අනුව එකිනෙකට වෙනස් රසාස්වාදයක් ලබන්නටත් ඕනෑතරම් ඉඩ තිබේ. මෙම කවියෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් කියවන, සාපේක්ෂ වශයෙන් ස්ත්‍රිය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී රටක රසිකයකුට මේ කවිය ගේන රසය මොන තරම් වෙනස් විය හැකිද?

අප මෙතෙක් සාකච්ඡා කළේ කලා කෘතිය මගින් (නාට්‍යකනම් විභාව අනුභාව හා ව්‍යභිචාරීභාව මගින්) ලබා දෙන හැඟීම ග්‍රාහකයා ලබා ගද්දී සහෘදයාගේ සංස්කෘතික පසුබිම කොතම් දුරට අදාල ද හා වැදගත්ද යන්නයි. එසේ නමුත් එයද ඉක්මවා ගිය දාර්ශනික තලයේ කාරණාවක් ඇති බව මෙහිලා අපට හැඟ් එනම් සහෘදයා තුළ ඇතැ’යි රසවාදය උගන්න ස්ථායීභාවයන් පිළිබඳ සංකල්පය තුළයි. 

රසවාදයට අනුව ස්ථායිභාව ඇතැ’යි කීම එක්තරා බුද්ධිවාදී ප්‍රවේශයකි. ඒ අනුව ස්ථායීභාව යනු දාර්ශනිකව සහජ සංකල්ප කොටසක් හැටියට වර්ග කිරීම සාවද්‍ය නොවේ. රසවාදය කියන හැටියට ස්ථායීභාව සැම මිනිසාගේ මනසේම පූර්ව කොන්දේසි රහිතව පිහිටන දෙයකි. බටහිර දර්ශනය තුළ ද මෙකී ‘සහජ සංකල්ප පිළිබඳ අදහස මූලික අවධියේ සිට පැවතියේය. ‘ප්ලේටෝ මෙවන් ආකාරයක ආකාරයක බුද්ධිවාදී අදහසක් ගෙනා අතර, ‘රෙනේ ඩේකාඩ්ස් විසින් මේ සහජ සංකල්ප අදහස වැඩිදියුණු කළේය. ඔහු තම සහජ සංකල්ප පිළිබඳ අදහස සඳහා භාවිත කළේ ‘Innate Ideas’ යන වචනයයි. එසේම පසුකාලීන දාර්ශනිකයකු වූ ‘ඉමෑනුවල් කාන්ට් ද සීමාසහිත සහජ (ස්ථායී) සංකල්ප කිහිපයක් පිළිගත්තේය. කාලය හා අවකාශයත් හේතුඵල සම්බන්ධයත් ඒ අතර මූලික විය. ‘අපිට කිසිම අත්දැකීමක් පූර්ව කොන්දේසි නැතිව ලබන්නට බෑ කාන්ට් කීවේය. ඒ පූර්ව කොන්දේසි පිළිබඳ කාන්ට්ගේ අදහස ‘Transcendental Ideas’ ලෙස හැඳින්වේ. 

නමුත් සහජ සංකල්පවාදයට එරෙහිවද දර්ශනය තුළ ඒ හා සමගාමිව මත ගොඩනැගුණි. ප්ලේටෝගේ සහජ සංකල්පවාදය ‘ඇරිස්ටෝටල් බැහැර කළේය. “ප්ලේටෝගේ ‘සංකල්ප අශ්වයා’ යනුවෙන් සහජ සංකල්පයක් නොපවතින බවත්, ප්ලේටෝ පෙන්වා දෙන ආකෘතික අශ්වයා, අශ්වයින් යම් කිසි ගණනක් දැකීමෙන් පසු මිනිසුන් වන අප විසින් හදාගත් සංකල්පයක්” බවත් ඇරිස්ටෝටල් කීය. එසේම ‘ජෝන් ලොක් වැනි නූතන මනො විද්‍යාඥයින් පෙන්වා දුන්නේ කුඩා ළමයකු උපදින විට ඔහුගේ මනස හිස් පුවරුවක් වැනිය කියන කාරණයයි. එකී මනසේ යම් යම් දේවලින් සටහන් තැබෙන්නේ ඔහු ලබනා අත්දැකිම් අනුවය. මේ අනුව බලන විට රසවාදය ගැඹුරු දාර්ශනික කථිකාවකට අතවනයි. 

මින් අපට ගත හැකි එක් කාරණාවක් වන්නේ විභාව අනුභාව හා ව්‍යභිචාරීභාව මගින් නලුවා ලබා දෙන අත්දැකීම ප්‍රේක්ෂකයා ගන්න ආකාරවල සාපේක්ෂක තත්වයක් තියෙනවා පමණක් නොව ස්ථායීභාවයන් සඳහා පවා සංස්කෘතිකමය සාධකයන්හි බලපෑමක් නොවේද යන්නයි. 

“රසවාදය ගැන ගොඩනැගෙන තව ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන නාට්‍යයේදී හෝ කාව්‍යයේදී හෝ මනෝභාව උපදින්නෙ මේ ක්‍රියා පටිපාටියට අනුවම ද කියන ප්‍රශ්නය පැන නගිනවා. මේ ක්‍රියා පටිපාටිය අනුවද? සමහරවිට නෑ. කාලාන්තරයක් තිස්සේ මිනිසුන් තුළ ඇති වන මනෝභාවත් ඒවා සමාජ ආර්ථික තතු විසින් නීර්ණය වීමත් ඒ මනෝභාව ප්‍රකාශ කරන ක්‍රමයත් අතිවිශාල වශයෙන් වෙනස්වෙලා තියෙනව ඉතිහාසයේ දිගටම..” 

(කලාව හා විඤ්ඤාණවාදය - 36)

මෙහිදී මහාචාර්ය සුචරිතගම්ලතුන් වචනයෙන් නොකීවත් මේ ඉඟි කරන්නේ අප කියූ එකී කාරණය නොවිය හැකිද?


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර -


Saturday, June 19, 2021

රසවාදය හා සංස්කෘතික සාපේක්ෂතාව ; මිතුරු-පසමිතුරු ප්‍රතිචාර පිළිබඳ අධ්‍යනයක් - 01


සංස්කෘත විචාර මූලධර්ම හා රසවාදය; දළ ප්රවේශයක්

සංස්කෘත කාව්‍ය විචාර කලාව කවදා ආරම්භ වීදැයි නිශ්චිතව කිව නොහැකි වුවත්, එය ඈත ඉතිහාසයකට අයත් බව පොදු පිළිගැනීමයි. මුල් යුගයේදී සංස්කෘත භාෂාව දෙවියන් උදෙසා යාගහෝම පැවැත්වීම උදෙසා භාවිත වූවක් බවත් එය ලෞකික කාව්‍යයන් සඳහා යොදා නොගත් බවත්, සංස්කෘතය බොහෝ විට බ්‍රාහ්මණයින්ට සීමා වූ බස් වහරක් වූ බවත් ‘Classical Sanskrit Literature නම් මහැඟි ග්‍රන්ථය රචනා කරමින් ‘බෙරිඩේල් කීත්’  (Berriedale Keith) නම් බ්‍රිතාන්‍ය ජාතික විද්වතා පවසයි. බ්‍රාහ්මණයින් විසින් පමණක් භාවිත කළ මෙම සංස්කෘත භාෂාව ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ ලියන ලද පාණිනීගේ ව්‍යාකරණයෙන් බැඳ තබන ලද බව ද කීත් වැඩිදුරටත් පෙන්වා දේ. (මෙය පෙදින් බුදු සිරිත බසින් වත් සිරිත් ඈ ආදි ලෙස - භාෂාමය තලයේ නොව භාවිතමය තලයේ - සිංහල සාහිත්‍ය කලාවන් පිළිබඳ සියබස් ලකර සිදු කළා වූ කාර්යය හා සසඳා බැලීම වටී) 

ඒ අනුව මුල් යුගයේ ලෞකික සාහිත්‍ය සාමාන්‍ය ජනතාව භාවිත කළ මූල ප්‍රාකෘත භාෂාවෙන් නිර්මාණය වෙන්නට ඇති බවත් දෙවියන් උදෙසා භාවිත කළ සංස්කෘතය එවන් පහත් මට්ටමේ භාවිතාවන් සඳහා යොදා නොගත් බවත් පැහැදිලිය. දැනට විශ්වාස කෙරෙන සාධක අනුව ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන යුගය පමණ වන විට සංස්කෘත භාෂාව ලෞකික කාව්‍යයන් සඳහා යොදාගැනීම ආරම්භ වන්නට ඇතැ’යි යන්න පිළිගැනීමයි. 

එසේම දැනට සොයොගෙන ඇති කෘතීන් අතර සංස්කෘත විචාර මූලධර්මයන්ට අදාල පැරණිම කෘතිය භරත මුනිවරයා විසින් රචනා කරන ලද නාට්‍ය ශාස්ත්‍රය යි. එය යට කීවා සේ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසටවත් අයත්යැ’යි පිළිගැනේ. කෘතියක් හැටියට දැනට ස‍ොයාගෙන ඇති පැරණිම කෘතිය නාට්‍ය ශාස්ත්‍රය වුවද නාට්‍ය ශාස්ත්‍රයේද ඊට පෙර පැවති සෞන්දර්ය විචාර මතවාද හා පොත් පත් පිළිබඳව සඳහන් වන හෙයින්, නාට්‍යශාස්ත්‍රය ලියන්නට පෙර යුගයේ සිට භාරතය තුළ මෙකී සෞන්දර්ය විචාර මූලධර්ම තිබුණු බව පැහැදිලි ය. රස නමැති සංකල්පය ගැන කෘතියක් කෙරූ නන්දිකේශ්වර නමැත්තෙකු ගැනත්, රීති පිළිබඳ විචාර කෘතියක් සකස් කළ ස්වර්ණාභ යන විද්වතුන් මෙන්ම, මෙම විෂයට සම්බන්ධව සිටි තවත් පඬිවරුන් වූ කාශ්‍යප මුනිවරරුචි සහ මේධාවින් යන අය පිළිබඳව එසේ පසුකාලීන ග්‍රන්ථයන්හි සඳහන් වේ. තවද මෙම ශාස්ත්‍රයන් දෙවියන් විසින් ඍෂිවරුන් වෙත ලබා දෙන ලද්දක් බව සාමාන්‍ය ජනප්‍රවාදයේ විශ්වාසය විය. 

සංස්කෘත සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය වූ ‘සිංහල ගී කාව්‍ය කෙරේ සංස්කෘත අලංකාර ශ්‍රාස්ත්‍රයේ බලපෑම නම් මහැඟි නිබන්ධයට පෙරවදනක් ලියමින් මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මෙසේ පෙන්වා දෙයි. 

“ලෝකයේ විවිධ සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායන් අතර භාරතීය සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි දීර්ඝකාලීනව පැවත එන වාග් විද්‍යාත්මක අධ්‍යන සම්ප්‍රදායක් මෙන්ම සෞන්දර්ය විද්‍යාත්මක සම්ප්‍රදායක්ද ඇති හෙයිනි. පාණිනී, පතඤ්ජලී ආදීන්ගෙන් ඇරඹුණු වාග් විද්‍යාත්මක ගවේශන සම්ප්‍රදාය දැන් බටහිර විද්වතුන් විසින් පවා මහත් සම්භාවනාවෙන් සලකනු ලැබේ. ඒ අතරම භරත මුනිගේ නාට්‍යශාස්ත්‍ර කෘතියෙන් ඇරඹුණු භාරතීය සෞන්දර්ය විද්‍යාව ද අද ලොවපුරා අවධානයට යොමුවී ඇත..”

තවද සංස්කෘත කාව්‍ය ක්ෂේත්‍රයේ ‘කාව්‍ය’ යන්න සැලකෙන්නේ පද්‍ය ගද්‍ය හා නාට්‍ය ආදී දේවල් හඳුන්වන පොදු නාමයක් හැටියට අපි මෙහිලා අමතක කළ යුතු නොවේ. 

ඒ අනුව සංස්කෘත සාහිත්‍ය විචාර මූලධර්ම අතර, අලංකාර වාදය, ගුණ සංකල්පය, රීති සංකල්පය, රස වාදය, ධ්වනි වාදය, වක්‍රෝත්ති වාදය, අනුමිති වාදය, ඖචිත්‍ය වාදය වැනි විචාර සංකල්ප රාශියක් වන අතර ඉන් කාව්‍යකරණය සඳහා වැඩ්මනක්ම බලපා ඇත්තේ අලංකාරවාදය ලෙසද කාව්‍ය විචාරය සඳහා වැඩිමනක්ම බලපෑම් කර ඇත්තේ රසවාදය ලෙස ද හැඳින්විය හැක. (සිංහල ගී කාව්‍ය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ බලපෑම නම් කෘතිය තුළ මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් මේ කාරණය සිංහල සාහිත්‍යට සම්බන්ධව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරයි)

කෘතියෙහි නමින්ම සඳහන් වන පරිදි භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය මූලික වශයෙන්ම නාට්‍ය හෙවත් දෘෂ්‍ය කාව්‍ය විචාරය කිරීම මූලික කොට ලියන ලද්දකි. එසේම එය පරිපූර්ණ ග්‍රන්ථයක් වන අතර, එවන් විෂ්‍යයක් සඳහා ලොව මෙතෙක් සොයාගෙන ග්‍රන්ථ අතුරින් පැරණිතය ග්‍රන්ථය වන්නේ ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයයි. මේ කෘති දෙක අතර පැහැදිලි සමානකම් මෙන්ම අසමානකම්ද තිබෙන බව ඒ පිළිබඳ තුළනාත්මක අධ්‍යනයක් කළ ආර් එල්.සින්ගල් (S.L Singal) තම ‘ඇරිස්ටෝටල් සහ භරත’ (Aristotle and Bharata)  නම් කෘතියෙහි මේසේ දක්වයි.

“භරතයන්ගේ රස සිද්ධාන්තය සහ ඇරිස්ටෝටල්ගේ භාව විශෝධන සිද්ධාන්තය යන දෙක, විශේෂයෙන් මතවාද ගැන අල්පමාත්‍ර හෝ දැනුමක් ඇති අයෙකුගේ වුව විමර්ශන චින්තනයට සැක සංකා පහළ කරයි. ඒ විචාරකයින් දෙදෙනාම ප්‍රකාශයට පත් කර ඇති අනුකරණ සිද්ධාන්තය ද ඒසේමය. නාට්‍ය විභාගය සම්බන්ධයෙන් මේ ලේඛකයින් දෙදෙනා සමාන අදහස් දරන සංකල්ප තව බොහෝය. ඔවුන් පරස්පර විරෝධී මත දරන අවස්ථාද තව බොහෝ ඇත..”

නමුත් ඇරිස්ටෝටල්ගේ කෘතිය නාට්‍ය ශාස්ත්‍රය තරම් පරිපූර්ණ කෘතියක් නොවේ. නාට්‍ය ශාස්ත්‍රයේ මූලික පදනම නාට්‍ය කාලාව වුවද කාව්‍ය කියන විෂයට අයත් හැම ඉසව්වක්ම පාහේ භරත මුනිවරයා විසින් සාකච්ඡා වේ. ඒ අනුව නාට්‍යට අමතරව කාව්‍ය, සංගීතය, නර්තනය ආදී බොහෝ විෂයයන් ගැන භරතමුනි විග්‍රහ කරන බව පෙනේ. සැබැවින්ම නාට්‍ය ශාස්ත්‍රය වනාහි පරිපූර්ණ හා දීර්ඝ කෘතියක් වේ. එහි පරිච්ඡේද තිස් හයකි. දෙපාද පද්‍ය සයදහසකි. ඊට අමතරව ගද්‍යයෙන් කෙරෙන විග්‍රහයන් ද රාශියක් වේ.


රසවාදයේ සෛද්ධාන්තික පසුබිම

භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳව මූලික කරුණු කිහිපයක් ඉහත සාකච්ඡා කළෙමු. සංස්කෘත විචාර මූලධර්ම ගොඩනැගූවන්ගේ මූලික පදනමක් විය. එනම් ආත්ම සංකල්පයයි. කාව්‍යයේ ශරීරයක් ඇති බව පිළිගත් ඒ අය තමන් පිළිගත් විචාර මූලධර්මය එහි ආත්මය ලෙස කීය.

ඒ අනුව අලංකාරවාදීන්ට අනුව කවියේ ආත්මය අලංකාර වන අතර, වක්‍රෝත්ති වාදීන්ට අනුව කාව්‍යයේ ආත්මය වක්‍රෝත්තියයි. කවියේ ආත්මය ධ්වනිය ලෙස ධ්වනිවාදීහු විශ්වාස කළ අතර එය උචිතබව යන්න ඖචිත්‍යවාදීහු කල්පනා කළහ. මේ අනුව තම තමන් අනුදත් විචාර මූලධර්මය කාව්‍යයේ ආත්මය ලෙස ඒ ඒ විචාරවාදීහු කල්පනා කළහ. ඒ අනුව භරතමුනි ප්‍රමුඛ රසවාදීන් කීවේ කවියේ ආත්මය ‘රසය වන බවයි. 

රස වාදය ගැන විමසීමේදී ‘රසය’ යන සංකල්පය නිශ්චිතව වටහාගැනීම ඉතා වැදගත් වේ. මක් නිසාද යත් ‘රස’ යන වචනයේ අරුත් කිහිපයක් දක්නට ඇති හෙයිනි. රස යන වචනයට පොදු සමාජය තුළ විවිධ අර්ථ ඇතත් සාහිත්‍ය විෂය තුළ ද දෙයාකාර අර්ථ ඊට යෙදී ඇති බව මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් තම ‘කාව්‍ය විචාර ගවේෂණ’ නම් කෘතියේදී පෙන්වා දෙයි.

“..කාව්‍ය රසය යනුවෙන් හැඳින්වනුයේ එකකි. නව වැදෑරුම් නාට්‍ය වශයෙන් ප්‍රකාශයට පත් වුණු රස සංකල්පය එකකි. දෙවැනුව කී  ස’ යන පදය පාරිභාෂික ශබ්දයක් වශයෙන් විශේෂ අර්ථ දේ.

කාව්‍ය නාටකාදී වශයෙන් සාහිත්‍ය කෘතියකින් හෝ වෙනත් කිසියම් කලා නිර්මාණයකින් හෝ සහෘදයා පොදුවේ විඳින ආනන්දමය හැඟීම් රස’ යන පදයේ පෘථුල අර්ථයයි. ශබ්ද රසය, අර්ථ රසය යනාදී වශයෙන් රසය ගැන නොයෙක් වර සඳහන් වනු දක්නට ලැබේ. කිසියම්  ශබ්ද සංකලනයකින් - කාව්‍යයකනම් උචිත පරිදි යෙදුණු අනුප්‍රාසාදී ලක්ෂණයකින් - කණ පිනවේනම් එබඳු තැන ශබ්ද රසය ඇතැ’යි කියමු. එසේම කිසියම් අලංකාරෝක්තියක් වැනි විශේෂ යෙදුමකින් සිත පිණවේනම් එබඳු තැන අර්ථ රසයක් ඇතැයි කියමු. මේ තැන්වල දී රස’ යන පදය යෙදෙනුයේ පුළුල් වශයෙන් කලාස්වාදය හැඟවීමටයි. භරත මුනීන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු රස සංකල්පය වැනි විශේෂ ගැඹුරු අදහසකින් නොවේ. රස’ යනුවෙන් හැඟවෙන හැම තැනකදීම ඒ රස සංකල්පය බලාපොරොත්තු වීම යුක්තිසහගත නොවේ”

ඒ අනුව භරත මුනි ප්‍රමුඛ කරගත් සංස්කෘත රසවාදීන් ප්‍රකාශයට පත් කිරීමට වෑයම් ගත් රස සංකල්පය කලා කෘතියකින් සහෘදයා පසක් කරගන්නා භාවමය අනුභූතියේ සූක්ෂ්ම පක්ෂය වචනයෙන් ප්‍රකාශ කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස හැඳින්විය හැක.

රස වාදීහු එය තනි සංකල්පයක් ලෙස ඉදිරිපත් කළද පසුකාලීන ධ්වනිවාදීහු රසය යනු ධ්වනිවාදය හා එකට ගනිමින් විග්‍රහ කළහ. ආනන්දවර්ධන තම ධ්වන්‍යාලෝක නම් ග්‍රන්ථයේ එම කාරණය පෙන්වා දෙන්නේ මේසේය.

“අපගේ මේ ප්‍රයත්නය ආරම්භ කරන ලද්දේ කවින්ගේ අබිමතය විය යුත්තේ සරාදිරූප වූ ව්‍යංග්‍යාර්ථයන්ගේ සමාවේශය බව තහවුරු කිරිමටයි. ඒ විනා හුදෙක් ධ්වනි යන අදහස ප්‍රතිපාදනය කිරීමට නොවේ.” ධ්වන්‍යාලෝකයට අනුව රස යනු ධ්වනියේ එක් ප්‍රබේදයක් හෙවත් මූලිකම ප්‍රබේදයයි. ඒ අනුව රසය කාව්‍ය තුළ අත්‍යාවශ්‍යයෙන්ම බැඳි ඇත කියන මතය පසුකාලීනව ඉතා ජනප්‍රිය විය.

භරත මුනිවරයා රස යන්න “විභවානුභාවව්‍යභිචාරීසංයෝගාත් රස නිෂ්පත්තිඃ” යනුවෙන් රස සංකල්පය රස සූත්‍රයකට ගෙනු කරයි. ඊට අනුව රසය උපදින්නේ විභාව, අනුභාව හා ව්‍යභිචාරීභාව යන දේවල සංයෝගයෙනි. 


I) ස්ථායීභාව

භරත මුනි රස සූත්‍රයේ දක්වා නැති, එසේම වෙනත් තැන්වල දක්වන තවත් වැදගත් භාව විශේෂයක් වේ. රසිකයා සතුව ඇති එකම භාව විශේෂය ස්ථායී භාව වන අතර, අනික් සියල්ල ඇත්තේ නලුවා තුළ ය. නොඑසේනම් කලා කෘතිය තුළ ය. ස්ථායීභාව යනු කිසියම් රසයක් නිෂ්ඨා කොට රසිකයාගේ සිතේ තහවුරුව පවත්නා හැඟීම් වේ. ඒවා ස්වභාවිකව මිනිස් සිත තුළ ඇති අතර සාමාන්‍ය අවස්ථාවන්හිදී නිලීනව පවතී. කලා කෘතියකින් කරන්නේ එකී ස්ථායීභාවයන් පුබුදුවා ඒවාට අදාල රසය ඇති කිරීමයි. භරත මුනිවරයාට අනුව ස්ථායීභාව අටක් වන අතර ඒවාට අදාල රසයන්ද අටකි. ස්ථායීභාව පැහැදිලිකරගැනීම රසවාදය පැහැදිලි කරගැනීමේදී ඉතා වැදගත් වන හෙයින් එය මුලින් විමසා බලමු.

මීට අමතරව පසුකාලීනව ශම’ නම් ස්ථායීභාවයකුත් ඒ අනුව ශාන්ත’ නම් රසයකුත් මීට එක් විය.


II) විභාව

මෙය ආලම්භන විභාව හා උද්දීපන විභාව යනුවෙන් දෙආකාර වේ. ආලම්භන විභාව යනු අරමුණ හෙවත් කිසියම් භාවයක් උපදීමට හේතු වන දෙයයි. කුස රජුගේ ප්‍රේමයට ආලම්භන විභාවය වන්නේ පබාවතියයි. 

උද්දීපනය විභාවය යනු සිතේ ඇතිවන හැඟීම් වැඩි දියුණු කිරීමට පාදක වන පරිසරයයි. මනමේ නාටකය ගතහොත් කුමරාගේත් කුමරියගේත් ආදරය උද්දීපනය කරන්නට, වනයේ සුන්දරත්වය, කෝකිල හඬ, පිපුනු නෙලුම් මල්, බඹරුන්ගේ ගුමු ගුමුව ආදිය බලපායි. 


II) අනුභාව

නලුවාට බාහිර වශයෙන් ලැබුණු, ආලම්භන හා උද්දීපන ආදී දේවලින් මතුවුන හැඟීම් චේෂ්ටාවන් වේ. සිතෙහි හටගත් හැඟිම ප්‍රේමයනම්  මිහිරිවදන්, නෙතඟ බැලුම්, නුරා තෙපුල්, ලැජ්ජාව ආදිය එහි අනුභාව වේ. ඒ අනුව හැඟීම් කේතනය කොට සහෘදයාට ලබාදීමට නලුවා - කවියා භාවිත කරන මූලික කේත වන්නේ අනුභාවයයි. 


III) ව්‍යභිචාරී භාව

ප්‍රධාන හැඟීම සමග පවත්නා වූ ද එය උද්දීපනය කිරීමට නලුවාට උපයෝගී වන්නා වූද අප්‍රධාන පරිවාර භාවයන්ය. මේවා බොහෝ විට එක ළඟ එක වශයෙන් වෙනස්වන අතුරු භාවයන් ය. ව්‍යභිචාරී භාවයන් සංචාරී භාව ලෙසද හැඳින්වේ. ප්‍රේමයේ ව්‍යභීචාරීභාව වන්නේ අමර්ෂය හා ලජ්ජාවයි. එවන් ව්‍යභිචාරීභාව තිස් තුනක් ඇති බව භරතමුණි පෙන්වා දෙයි. 

ඊට අමතරව සාත්වික භාව නම් කොටසක්ද වේ. එයින් හැඟවෙන්නේ අතිශ්‍ය දක්ෂ නලුවකුට පමණක් නිරූපණය කරන්න පුලුවන් භාව විශේෂයක් වන අතර එවන් සාත්වික භාව අටක් දක්වයි. මේවා මනස මුල්කරගෙන බිහිවන බව කියැවේ. එනම්, අශු (කඳුලු) , ප්‍රලය (කලාන්තය) , රෝමාතූඩ (ලොමුදැහැගැන්වීම) , වෙපථු (වෙව්ලීම) , ස්වේද (දහදිය දැමීම) , ස්ථම්භ (ගල්ගැසීම) , ස්වරභේද (ස්වරයෙහි වෙනස්වීම) , වෛවර්ණ්‍ය (මුහුණ රතු වීම) ආදියයි. 

ඒ අනුව අනුභාව, ව්‍යභිචාරීභාව හා සාත්විකභාව යන ඒවා නලුවා කේත විදිහට භාවිත කරමින් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන අතර ඒ තුළින් ප්‍රේක්ෂකයාගේ හිත තුළ නිලීනව ඇති ස්ථායීභාව අවදි වේ. එසේ වීමෙන් පසු එකී ස්ථායී භාවයට අදාල රසය ප්‍රේකෂකයාට ලැබේ. එය රසවාදයේ මූලික හරයයි.

එක රසයක ස්ථායී භාවයක් වෙනත් රසයක ව්‍යභිචාරීභාවයක් විය හැකි බව රසවාදය කියයි. එනම් රතිය ශෘංගාර රසයේ ස්ථායීභාවයයි. නමුත් එය වීර රසයේ ව්‍යභිචාරීභාවයක් විය හැක. එසේම එක කලා කෘතියක තිබිය හැක්කේ එක් ප්‍රධාන රසයක් පමණකි. කලා කෘතියක් මගින් ස්ථායීභාව නිසිලෙසත් සම්පූර්ණ ලෙසත් පරිපෝෂණය නොවූ කල්හි ඒවා රස තත්ත්වයට පත් නොවේ. හරි හැටි රස උද්දීපනය වීමට උපකාර නොවන අනුචිත චරිත හා අවස්ථා යොදාගැනීම මෙන්ම නිවැරදි අවස්ථාවේ ස්ථායී භාව පරිපෝෂණය නොවීම ආදී කාරණා ඊට හේතු විය හැකිය. එවැනි අවස්ථාවේ හටගත හැක්කේ සැබෑ රසය නොව රසයේ ඡායාමාත්‍රයක් හෙවත් ‘රසාභාසයක්’  බව රසවාදය පෙන්වා දෙයි. 

රස වාදය තුළ මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ රස නවයක් පමණක්ය යන කාරණය ගෙන, රස වාදය සියලු කලා කෘතීන් සඳහා යෝග්‍ය නොවන බව කියන්නට බැරිය. එය ඉතා සියුම් ලෙස ඕනෑම හැඟීමක් භාවයක් අඩංගු කරගත හැකි පරිදි දාර්ශනිකව ගොඩනගා ඇති සුක්ෂ්ම දැනුම් පද්ධතියක් වේ. රසවාදයේ එකී ශඛ්‍යතාව මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් මෙසේ සාරාංශ කරයි.

“මතුපිට වාච්‍යාර්ථයෙන්ම සලකා බැලුවහොත් රසාස්වාදන ව්‍යාපාරය වූ කලී ලේබල් නවයක් රැගෙන කැමති පරිදි ඇලවීමකට සීමා නොවන බව පෙනේ. මිනිස් සිත් සතන් තුළ පහළවිය හැකි හැඟීම් නවයක් පමණ යයි ද, සාහිත්‍යයේ නිරූපණය කළ හැක්කේ එම හැඟීම් නවය පමණක් යැයිද වැනි දුර්මත රසවාදය ඉදිරිපත් කළ සංස්කෘත විචාරකයින් කිසිවිටක නොදැරූබව මෙයින් පෙනී යයි. රස යනු සංකීර්ණ වූත් සූක්ෂ්ම වූත් සෞන්දර්යාස්වාදයකි. මිනිස් සිතෙහි යම්තාක් මනෝවෘත්තීන් හටගනීද ඒ සියල්ල රසවාදයේ ක්ෂේ්‍රත්‍රයට අන්තර්ගත වෙයි” 

මතු සම්බන්ධයි..


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


Friday, June 4, 2021

ලුවී අල්තුසර් හා අල්තුසරියානු දෘෂ්ටිවාදී යාන්ත්‍රණ - 01

 

ලුවී අල්තුෂර් (Louis Althusser)


ඇල්ජීරියාවේ ඉපිද ප්‍රංශයට පැමිණි ‘ලුවී අල්තුසර්’ (Louis Althusser 1918-1990) මාක්ස්වාදී දාර්ශනිකයක් මෙන්ම සමාජ න්‍යායවාදියක් ද විය. ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියා කළ පියා නිසාත්, ලිංගික වශයෙන් පීඩාවට පත් වූ මව නිසාත් ඔහුගේ කුඩා කල වේදනාක්මක එකක් වූ බව කියැවේ. එසේම කතෝලික පරිසරයක හැදුණු වැඩුණු ඔහුට ජර්මන් සිරකරුවකු ලෙස කාලයක් සිටින්නට සිදු විය. පැරීසියේ École normale supérieure අධ්‍යාපන ආයතනයට සිසුවෙකු ලෙස අල්තුසර් එක් වුණේ එකී සිර දිවියෙන් පසුවය. ශිෂ්‍ය සමයේම කොමියුනිස්ට් පක්ෂයට එක් වෙමින් එහි නායකයින් හා සාමාජිකයින් සමග නිතර නිතර වාදයන්ට එළඹීම අල්තුසර් සිදුකළ දෙයකි. 

පසුකාලීනව කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභිකයකු වූ අල්තුසර් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස ද සේවය කළේය. එසේම මාක්ස්වාදී ප්‍රතිසංස්කරණ තුළ ‘ජෝර්ජ් ලුකාෂ්, (György Lukács), ‘අන්තෝනියෝ ග්‍රාමිස්චි’ (Antonio Gramsci),  ‘ජුගන් හබමාස්’ (Jürgen Habermas) වැනි අය මෙන්ම අල්තුසර්ද ඉතා වැදගත් ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙස පසුකාලීනව සැලකෙන්නට විය.

කාර්ල් මාක්ස් හා ව්ලැඩිමීර් ලෙනින් මෙන්ම අන්තෝනියෝ ග්‍රාමිස්චිගේ අදහස්, ආධුනිකයකු වශයෙන් දර්ශන විෂය කෙරේ තම ලලාසාව වර්ධනය කරගැනීමේදී තමාට  බලපෑම් කළ  ආකාරය පිළිබඳව මෙන්ම, තම මුල්කාලීන ලේඛන සිය සගයින් සමග සාකච්ඡා කළ  ආකාරය අල්තුසර් තම ‘Lenin And  Philosophy And  Other  Essays’  නම් ග්‍රන්ථයේ මෙසේ පෙන්වා දෙයි.

Once  I  had a  better understanding of Marxist-Leninist politics,  I  began to have a passion for philosophy too, for, at last, I began to understand the great thesis of Marx, Lenin, and Gramsci:  that philosophy is fundamentally political. Everything that  I  have written,  at first alone,  later in collaboration with younger comrades and friends, revolves, despite the  'abstraction'  of our essays,  around these very concrete questions. (Lenin And  Philosophy And  Other  Essays - P. 12)

අල්තුසර් විසින් ලියන ලද ප්‍රධාන ග්‍රන්ථ අතරින් එකක් වන ‘මාක්ස් වෙනුවෙන්’ (For Marx) නම් කෘතිය තුළ අල්තුසර් කාර්ල් මාක්ස්ගේ සමස්ත ඉගැන්වීම් කොටස් කිහිපයකට බෙදා ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරයි. 


1. 1840-44: the Early Works

2. 1845: the Works of the Break.

3. 1845-57: the Transitional Works.

4. 1857-83: the Mature Works.

                                                 (for Marx - P.35)

මේ අනුව කාර්ල් මාක්ස්ගේ සමස්ත දුර්වලතා හා ප්‍රබලතා ‘මාක්ස් වෙනුවෙන්’ කෘතියෙහිදී විධිමත් න්‍යායාත්මක පදනමක් සහිතව පෙන්වා දෙන අල්තුසර්ගේ කාර්යය මාක්ස් ලෝක ඉතිහාසය තුළ නැවත ස්ථාපනය කිරීමක් ලෙස පැවසිය හැක. ‘අල්තුසර් විසින් මාක්ස් නැවත සොයාගන්නා ලදී’ යනුවෙන් විචාරකයින් හඳුන්වන්නේ එහෙයිනි. 

අල්තුසර් මාක්ස්ගේ කෘති සම්බන්ධයෙන් යෝජනා කළ  කාරණය වූයේ ඒවා විචාරාත්මකවත් බැරෑරුම්වත් කියවීම ය. මාක්ස්ගේ ඉගැන්වීම් ඒ අයුරින්ම නොගෙන මාක්ස් තුළම තිබෙන න්‍යායාත්මක දුර්වලතා, නොපැහැදිලි තැන්, දෘෂ්ටිවාදාත්මක ගැටලු හඳුනාගනිමින් සහ එම ඉගැන්වීම්වල ඇති සැබෑ විද්‍යාත්මක කාරණා ද වෙන් කරගනිමින් සමීප කියවීමක් කිරීම (symptomatic reading) ‘මාක්ස් වෙනුවෙන්’ කෘතියේ මූලික අරමුණ විය.  එසේම Lenin And  Philosophy And  Other  Essays නම් ග්‍රන්ථය තුළ ද අල්තුසර් මාක්ස්ගේ මෙන්ම ලෙනින්ගේද මතවාද ඉතා තදින් අනුමත කරයි. 


ජෝර්ජ් ලුකාෂ්  (György Lukács)

මෙසේ “ව්‍යුහවාදී මාක්ස්වාදයට” පදනම් දමන ලද අල්තුසර් තරුණ මාක්ස්, හේගලියානු බලපෑමකට ලක්වූ අයුරු පෙන්වා දෙන අතර, එසේම තරුණ මාක්ස්ගේ ඉගැන්වීම්වලට වඩාත් අනුගත වෙමින් ව්‍යුහවාදී මාක්ස්වාදයට පටහැනි සෙසු මානුෂීයවාදී මාක්ස්වාදීන් හේගලියානු උරුමය කරපින්නාගත් නිර්මාක්ස්වාදීන් ලෙස නම් කළේය. මාක්ස්, හේගල්ගේ බලපෑමෙන් ඈත්වී තමාගේම විද්‍යාවක් ගොඩනගා ගත් යුගය මාක්ස් කියවීම තුළ වැඩි වටිනාකමක් ඇති බව අල්තුසර් කියයි. එසේම මාක්ස්ගේ 1857න් පසු යුගය ‘ඥාන වීමංසාත්මක ඛණ්ඩනයක්’ (Epistemological Rupture) බව අල්තුසර් පෙන්වා දුන් අතර එම අදහස අල්තුසර්ගේ මූලික අදහස් අතර වේ.

මෙසේ කාල් මාක්ස් නැවත කියවිය යුතුය යනුවෙන් කල්පනා කිරීමට අල්තුසර් ඇතුලු පශ්චාත් මාක්ස්වාදීන්ට බලපෑ මූලික සාධක කිහිපයක් තිබුණි.


1‍. මාක්ස්වාදී මූලික ඉගැන්වීවලට අනුව විප්ලවය සිදුවන්නේ ධනවාදී සමාජයක වුවද, රුසියාව තුළ එය ධනවාදයට නොගොස් කිසියම් වැඩවසම් සමාජ ලක්ෂණම දරන කාලයක සිදුවීම.

2. එක්සත් ජනපදය හා යුරෝපයේ නූතන ධනවාදය උපරිම මට්ටමට වර්ධනය වි තිබුණද එහි මූලික මාක්ස්වාදයේ ඉගැන්වෙන ආකාරයට ප්‍රති අරගලයක් වර්ධනය නොවීම.

3. ස්ටාලින් වාදයට එරෙහිව රුසියාවේම පැනනැඟුණු ගැටලුකාරී තත්වය හේතුකොට මාක්ස්වාදයේ කිසියම් අවලංගුතාවක් පෙනී යෑම.

4. ශ්‍රමය පිළිබඳ සංකල්පය මිනිසාගේ සංස්කෘතික හා දේශපාලනික ජීවිතය අවබෝධ කර දීමට අපොහොසත් විම.

5. සම්භාව්‍ය මාක්ස්වාදය තුළ තිබුණු ගැඹුරු න්‍යායාත්මක පිළිවෙත පසු කාලිනව‍‍, කොමියුනිස්ට් පක්ෂවල නිල මත නිසා දියාරුවී තිබීම. 

6. සම්භාව්‍ය මාක්ස්වාදය මගින් උපරිව්‍යුහය නොසලකා හැර ඇතැයි වැටහීම.

7.විවිධාකාරයෙන් මාක්ස්වාදී න්‍යාය කිලිටි වීමත් එය පශ්චාත් ස්ටාලින් සෝවියට් සංගමය තුළ ප්‍රතික්ෂේප වන තත්වයක් තුළ සැබෑ මාක්ස්වාදය ඇත්තේ කොතනදැයි සෙවීමට අල්තුසර් තුළ ඇතිවුණ කුතුහලය.

 

ආදී කරුණු ඒ අතර විය. මාක්ස්වාදය රුසියාවෙන් පවා බැහැර වෙමින් පවතින විට ඊට විකල්පයක් හැටියට බොහෝ උගතුන් කළේ මානුෂවාදී මාක්ස්වාදය ඉස්මතු කිරීමයි. මිනිසා තම ක්‍රියාවන් සිදු කරන්නේ තමන්ගේ කැමැත්තට හෙවත් ස්වච්ඡන්දතාවට අනුව යැයි මානුෂවාදී මාක්ස්වාදීහු කීහ. නමුත් අල්තුසර් මීට විරුද්ධ විය. ඔහු කීවේ සිය කැමැත්තට අනුවම ක්‍රියා කිරීමේ හැකියාවක් මිනිසාට නැති බවයි. ඒ අනුව සමාජයේ පවතින නිෂ්පාදන සම්බන්ධතා, සමාජ පන්ති, මතවාද, රජය සහ දේශපාලන බලසම්බන්ධතා මිනිසාගේ ස්වායත්තතාව සීමා කරන බවයි. නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් අල්තුසර් ස්වකීය න්‍යායගතකිරීම් තුළ මනුෂ්‍ය කර්තෘකයා ඉවත් කරමින්, මාක්ස්වාදී න්‍යාය විකෘති කරන බව වශයෙන් මානුෂීයවාදී මාක්ස්වාදීහු කීහ.  

මේ අනුව අල්තුසර් විසින් ගොඩනගනු ලැබූ මාක්ස්වාදය ‘ව්‍යුහවාදී මාක්ස්වාදය’ ලෙස ජනප්‍රිය විය. ව්‍යුහවාදය යන්නෙහි පොදු අදහස වූයේ, මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය මනුෂ්‍ය කර්තෘකයන්ගේ මනෝමූලික අභිලාෂයන්ගෙන් නොව ඔවුන්ට සහ ඔවුන්ගේ මනසට ස්වාධීනව පවතින ව්‍යුහයන්ගේ ක්‍රියාකාරීත්වයන් මත අවබෝධ කර ගත යුතු බවයි.  එසේම ව්‍යුහාත්මක මාක්ස්වාදය දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය හා සංස්කෘතික අධ්‍යනය යන බොහෝ ක්ෂේත්‍රයන්ට තදින් බලපෑම් කළේය. නමුත් තමා ව්‍යුහවාදයේ බලපෑමට හසු වී ඇති බව අල්තුසර් ඍජුව ප්‍රතික්ෂේප කළේය. ඔහුට අනුව ව්‍යුහවාදය යනු හුදෙක් එක් මතවාදයක් පමණි. 

ව්‍යුහවාදී මාක්ස්වාදය ගොඩනැගීමේදී අල්තුසර් හා දායක වූ සෙසු විද්වතුන් අතර ග්‍රීක සම්භවයක් සහිත ප්‍රංශ සමාජ විද්‍යාඥයකු වු ‘නිකෝෂ් පුලන්ෂන්’ (Nicos Poulantzas), සහ ප්‍රංශ මානව විද්‍යාඥයකු වූ ‘මෞරිස් ගොඩ්ලියර්’ (Maurice Godelier) වැන්නෝ වැදගත් වූහ. ඔවුන්ට අනුව ව්‍යුහවාදය මුලින්ම සමාජ යථාර්ථය අධ්‍යනය සඳහා ගෙනාවේ ස්විට්සර්ලන්ත වාග්විද්‍යාඥයකු වූ ෆර්ඩිනැන්ඩස් සොසූර් (Ferdinand de Saussure)  නොව කාර්ල් මාක්ස් ය. 

එසේම අල්තුසර් විසින් සංකල්පගත කළ  තවත් වැදගත් අදහසක් ලෙස සැලකෙන්නේ Overdetermination Of Contradictions යන්නයි. ඔහු එකී සංකල්පය ගොඩනැගීමේදී සිඩ්මන් ෆොයිඩ්ගේ මනෝ විශ්ලේශන වාදය ද ප්‍රයෝජනයට ගත්තේය. 

සම්භාව්‍ය මාක්ස්වාදයේ ඇති ඓතිහාසික භෞතිකවාදය නම් මූලික සංකල්පය උගන්නන්නේ සමාජයේ ප්‍රතිවිරෝධතා දෙකක් ඇතිවී ඒවා අතර ඇතිවන ගැටුමක් ගැනය. එසේ වුවත් සමාජ ප්‍රතිවිරෝධතාව නිෂ්පාදන බලවේග හිමි හා අහිමි යන කොටස් දෙක තුළ පමණක් ඇතිවන්නක් ලෙස අල්තුසර් නොසලකයි. ඒ වෙනුවට ඔහු එම ප්‍රතිවිරෝධතා දෙස තවදුරටත් උනන්දුවෙන් බැලීය. ඔහුට අනුව සම්භාව්‍ය මාක්ස්වාදය කී මූලික ප්‍රතිවිරෝධතා ඇත. එසේම සමාජයක් තුළ තවත් අතුරු ප්‍රතිවිරෝධතා රාශියක් පවතී. වාර්ගික කණ්ඩායම් අතර, වයස් කණ්ඩායම් අතර, ධනවාදයේම විවිධ කල්ලි අතර, නිෂ්පාදන බලවේග අහිමි කොටස්වල විවිධ කණ්ඩායම් අතර පවා ප්‍රතිවිරෝධතා ඇති බව අල්තුසර් කියයි. ඒ අනුව සමාජය විප්ලවයකට සේන්දු වීමේදී මේවාද අතිශ්‍ය වැදගත් සාධක බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රතිවිරෝධයන් අධිනිශ්චය වීම හෙවත් Overdetermination of Contradictions සංකල්පය තුළින් අල්තුසර් පැහැදිලි කළේ එයයි.

ජුගන් හබමාස් (Jürgen Habermas)

ලුවී අල්තුසර් විසින් සිදු කළ තවත් වැදගත් සංස්කරණයක් වූයේ සම්භාව්‍ය මාක්ස්වාදයේ දේවභාෂිතයක් සේ පිළිගැනුනු ‘ආර්ථික නියතිවාදය විචාරයට ලක් කිරීමයි. මෙම අදහස පිළිගත් අය සිදු කළේ සමාජ දේශපාලන හා සංස්කෘතික තලයේ සිදුවන සියලු දේවල් කෙලින්ම ආර්ථික පදනමේ සිදුවන දේවල ප්‍රතිඵල හෝ ප්‍රකාශනයන් හැටියට සැලකීමයි. නමුත් අල්තුසර්ට අනුව සමාජයක් ගොඩනැගෙන්නේ ව්‍යුහ ගණනාවක් හේතුවෙනි. ආර්ථික ව්‍යුහය ඉන් එකක් පමණකි. එය හැරුණුකොට මතවාදීමය, දේශපාලනමය, ආගමික හා න්‍යායාත්මක හෝ විද්‍යාත්මක ව්‍යුහයන් ඇති අතර, ඒවාද සමාජ සංරචනයේදී ආර්ථික ව්‍යුහය තරමට ම වැදගත් ය. ඒ අනුව සමාජයකට ඇති වන්නේ ආර්ථික ව්‍යුහයේ බලපෑම පමණක්යැයි උපකල්පනය කිරිම සාවද්‍ය වේ. ඒ පිළිබඳ අල්තුසර් මෙසේ කියයි.

“ප්‍රශ්නය වන්නේ, මාක්ස් විසින් ඔහුගේ ආර්ථික න්‍යායට සැසඳිය හැකි ආකාරයට, උපරි ව්‍යුහය පිළිබඳ න්‍යායක් වර්ධනය නොකිරීමයි. සමකාලීන මාක්ස්වාදීන් විසින් ඉටු කළ  යුතු ඉතාම ක්ෂණික අත්‍යාවශ්‍ය කටයුත්ත වනාහි, දේශපාලනය හා මතවාදය පිළිබඳ න්‍යායන් සංවර්ධනය කිරීම මගින් මාක්ස්වාදයේ මෙම දුර්වලතාවය නිවැරදි කිරීමයි..”

ලුවී අල්තුසර් නම් සුවිශේෂි දාර්ශනිකයා ගැනත්, ඔහු දර්ශනය විෂය කෙරේ දැක්වූ නැඹුරුතාව ගැනත්, ඔහු විසින් ගොඩනගනු ලැබූ ව්‍යුහවාදී මාක්ස්වාදය ගැනත්, කාර්ල් මාක්ස්ව නැවත කියවීම සඳහා අල්තුසර්ට මෙන්ම සමකාලීන තවත් ප්‍රතිසංස්කරණවාදී මාක්ස්වාදීන්ට හේතු වූ මූලික කාරණා ගැනත් ආදී ලුවී අල්තුසර්ගේ මූලික කිහිපයක් පිළිබඳ අපි සොයා බැලීමු. අල්තුසර්ගේ තවත් ප්‍රධාන මෙන්ම වැදගත්ම අදහසක් වූ දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණය (The cultural ISA) හා රාජ්‍යයන් කලාව තම අවශ්‍යතාවන් සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳ භාවිත උදාහරණ සහිතව මෙතැන් සිට විමසමු.


දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ අල්තුසරියානු යාන්ත්‍රණය


සම්භාව්‍ය මාක්ස්වාදයේ විවිධ අදහස් රාශියක් අල්තුසර් විසින් ප්‍රශ්න කිරිමත් ඒවා සංස්කරණය කිරීමත් ගැන අපි ඉහතදී සාකච්ඡා කළෙමු. මාක්ස් අලුතින් සොයාගත්තා සේ ඇතැම් විචාරකයින් විසින් හැඳින්වූ අල්තුසර්, තමන් විසින්ම එක් කළ වැදගත්ම සංකල්පයක් වූයේ දෘෂ්ටිවාද මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණය හෙවත්, ‘Ideological state apparatuses’ පිළිබඳ සාකච්ඡාවයි.

සම්භාව්‍ය මාක්ස්වාදීන් අධිපතිවාදී බලය දුටුවේ නිෂ්පාදන බලවේග හිමි සමාජ පංතිය අනිකුත් සමාජ පංතීන් මත යටපත් කරමින් ඒවා මත පවත්වාගෙන යන බලයක් ලෙසය. ලෙනින් කීවේ, පාලක ධනේෂ්වර පංතිය පීඩිත පංතීන් වෙත මර්දනකාරීව ආධිපත්‍ය පවත්වාගන්නා බවයි. රජය යනු ධනපති පංතියේ මර්දනයේ ප්‍රධාන උපකරණය ලෙස ලෙනින් නම් කළේය.

නමුත් ලුවී අල්තුසර් මෙම අදහසට විකල්ප අදහසක් ගෙනේ. ඒ දෘෂ්ටිවාදයක් මගින් රාජ්‍ය පාලනය කිරීමේ යාන්ත්‍රණයයි. මෙම විග්‍රහය ගොඩනැගිමේදී අල්තුසර්හට ප්‍රකට ඉතාලි චින්තකයා යූ ‘අන්තෝනියෝ ග්‍රාමිස්චිගේ’ අදහස් බලපෑ බව පෙනේ. එසේම කාල් මාක්ස්, ලෙනින් මෙන්ම ග්‍රාමිස්චි ද තම අදහස් සඳහා බලපෑ බව කී අල්තුසර්ගේ ප්‍රකාශයක් අපි ඉහත උපුටා දැක්වීමු.

ඉතාලි ෆැසිස්ට් රජයට එරෙහිවීම නිසා විසි අවුරුදු හිර දඬුවම් විඳිමින් අවුරුදු හතළිස් හයේදී මියගිය ග්‍රාමිස්චි, හිරගෙදරදී ලියමින් රහසේ පිටත්කර හරින ලද පිටු තුන්දහසක් පමණ දිග සටහන් පොත් තිස් තුනක් අතරින් තෝරාගත් ලිපි ආශ්‍රයෙන් පළ වුණු Prison Notebooks කෘතියට අනුව ඔහු ද රජයේ පාලනය කිරීමේ යාන්ත්‍රණය සඳහා සම්භාව්‍ය මාක්ස්වාදීන් කී බලෙන් යටපත් කිරීමට එහා ගිය නිර්මාණශීලී හෙලිදරව්වක් කළේය. එනම් ‘හෙජමොනිය’ (Hegemony) නම් සංකල්පයයි. 

අන්තෝනියෝ ග්‍රාමිස්චි (Antonio Gramsci)

ඒ අනුව කියවුනේ සෑම පාලක පන්තියක්ම සමාජය මත බලහත්කාරය පවත්වාගන්නේ නැත යන්න සහ මිනිසුන් තම කැමැත්ත මත පාලනය වනවාය යන්නයි. නොඑසේනම්, එක්තරා අනන්‍යතාවක, පංතියක හෝ සමාජ ශ්‍රේණියක සුවිශේෂීතාවන්ට ඔබ්බට ගොසින් ඒ අයගේ ‘සහානුමැතිය’ දිනාගැනීමේ දේශපාලනය හෙජමොනියයි. ඒ මගින් ගොඩනගාගන්නා බලය මර්දනය මගින් ගොඩනගාගන්නා බලයට වඩා ස්ථාවරය. මෙසේ විවිධ පංතිවල කොටස් පාලක පන්තිය හා හෙජමෝනිකව එක්වීම නිසා ‘ඓතිහාසික බල හවුලක්’ (Historical Block) ගොඩනැගෙන බව ග්‍රාමිස්චි කියයි. නමුත් එකී ඓතිහාසික බල හවුල් පවා ඒවායේ ඒකත්වය අහෝසිවී විනාශවී යෑමට පුලුවන.

අල්තුසර් තම මතවාදය ගොඩනගාගැනීමේදී ග්‍රාමිස්චිගේ ආභාසය ලැබීය. නමුත් ඔහු පෙන්වා දෙන අදහස් පද්ධතිය වඩාත් පුලුල් එකක් ලෙස හැඳින්විය හැක. ලුවී අල්තුසර් පෙන්වාදෙන ආකාරයට රජය තම ආධිපත්‍ය පවත්වාගෙන යෑම සඳහා විධික්‍රම දෙකක් භාවිත කරයි.


1. මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ (Repressive State Apparatus) = RSA

2. දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ (Ideological state apparatuses) = ISA

 

යම් පාලන අධිකාරයක් බලය පාවිච්චි කර පැවැත්ම තහවුරුකරගැනීම මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයක් හෙවත් RSA මගින් අදහස් වේ. සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යාය බොහෝවිට සංකල්පගතව ඇත්තේ මර්දනකාරී යාන්ත්‍රණයක් හැටියට බව අල්තුසර් පෙන්වා දෙයි. අල්තුසර්ට අනුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයට අයත් වන්නේ පොලීසිය, යුධ හමුදාව, සිරගෙවල්, උසාවිය වැනි බලහත්කාරී හා මර්දනකාරී බලය සමාජය මත පවත්වාගෙන යන ආයතන වේ.

(අට වසරක පාලන කාලය තුළ දල වශයෙන් ලක්ෂ හතරකට වැඩි පිරිසක් ඝාතනය කළ, රටේ අග්‍ර විනිශ්චයකාර තුමාටත් අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේත් කටට සියතින්ම වෙඩි තැබමින් මරා දැමූ, තමා මිනී මස් අනුභව කර ඇති බවත් ඒවා ලුණු  රසයෙන් වැඩි බවත් කී සහ තමා විසින් ඝාතනය කළ මිනිසුන්ගේ හිස් ශීතකරණවල තබාගත්, හැටලක්ෂයක් යුදෙව් ජනයා මැරූ හිට්ලර් වෙනුවෙන් පිළිරුවක් තැනූ එකම පාලකයා වූ, ලක්ෂ ගණන් ජනතාව සාගින්නේ මිය යද්දී තම රටට අයත් එකම ගුවන් යානය එංගලන්තයේ සිට ගෙන්වාගෙන තමාගේත් තම පවුලේත් භාවිතය සඳහා යොදාගත් කුප්‍රකට පාලකයා වූ උගන්ඩාවේ ඉඩි අමීන්ගේ පාලනය බොහෝ විට මේ ලක්ෂණ දැරූ බව කිව හැක. එසේම හමුදා පාලනයක් සහිත බොහෝ අප්‍රිකානු රාජ්‍ය මීට මතුපිට තලයේ පැහැදිලි උදාහරණ ලෙස ගත හැක.

මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණය මෙවන් සියයට සියයක් මර්දනීය ස්වරූපයෙන් නොව සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුන්වන ඒවායේ පවා තිබිය හැක. ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කලු ජාතික ඇමරිකානුවාට ඇමරිකානු පොලීසිය විසින් හිමි කර දුන් මරණය ගත හැකිය. එසේම ඊට එරෙහිව රට පුරා ඇවිල යමින් ඇති උද්ඝොෂණයන්ට විරුද්ධව, රබර් උන්ඩවලින් වෙඩි තියමින්, බැටන් පොලුවලින් මෙන්ම අතින් පයින් පවා පහර දෙමින්, ජල ප්‍රහාර එල්ල කරමින් සහ අත්අඩංගුවට ගනිමින් ඇමරිකානු රජය මේ මොහොතේ ගෙන යන මර්දනීය ස්වරූපය ද මීට හොඳම උදාහරණ වේ.

ජෝන් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක් කළ  ලංකාවේ පිරිසකට ලංකා ආණ්ඩුව විසින් දැක්වූ මර්ධකතාරී ප්‍රතිචාරයට පාදක වූයේ නිරෝධාන නීති බිඳීමයි! එසේ නමුත් ප්‍රකට දේශපාලඥයකුගේ මළගමකට රැස් වී පොදි කෑ ලක්ෂ සංඛ්‍යාත ජනයාට එම නිරෝධාන නීති ක්‍රියාත්මක නොවීම රජයන් තම අවශ්‍යතා සඳහා මර්දනීය උපකරණ භාවිත කිරිමට පැහැදිලි නිදර්ශනයි.)

ලුවී අල්තුසර්ගේ වැදගත්ම එකතුකිරීම වන්නේ RSA හෙවත් දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණයයි. ලොව බොහෝ රාජ්‍ය ඉහත කී පරිදි මර්දනකාරී ලෙස ආධිපත්‍ය පවත්වාගන්නේ නැත. ඔවුන් ආධිපත්‍ය පවත්වාගෙන යන්නේ ඊට වඩා සියුම් මෙන්ම පහසුවෙන් කඩා නොවැටෙන ආකාරයට හෙවත් දෘෂ්ටිවාදී යාන්ත්‍රණය මගිනි. එය ආධිපත්‍ය පවත්වාගැනිමට වඩාත්ම සුදුසු ක්‍රමයයි.

“නිර්ධන පංතිය තුළින් කිසිම ආකාරයක විප්ලවයක් බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද ඒ අය මේ වන විටත් ධනපති පංතියේ උගුල තුළ සුරතල්වන මිනිස්සු කණ්ඩායමක් වී හමාරයි” යනුවෙන් පසුකාලීනව ජුගන්හ බමාස් ද කීවේ මේ හේතුවෙනි.

අල්තුසර් සිය Lenin and  Philosophy and other Essays කෘතියේ පස්වන ජරිච්ඡේදය වන Ideology and  Ideological State Apparatuses (Notes towards an Investigation) හි දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණ කිහිපයක් දක්වයි. 


1) ආගමික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Religions ISA)

2) අධ්‍යාපනික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Educational ISA)

3) පවුල නමැති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Family ISA)

4) නෛතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Leagal ISA)

5) දේශපාලන මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (දේශපාලන පක්ෂ) (The political ISA)

6) වෘත්තීය සමිති මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (The Trade union ISA)

7) සන්නිවේදන මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (පුවත්පත් ගුවන්විදුලිය රූපවාහිණිය ආදී) (The communication ISA)

8) සංස්කෘතික මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය (සාහිත්‍ය කලා ක්‍රීඩා ආදී) (The cultural ISA) 

 

අල්තුසර්ට අනුව මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණයන්හි හා දෘෂ්ටිවාදී රාජ්‍ය යාන්ත්‍රණයන්හි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයකි.




මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන්නේ පාලක මතවාදය වුවද, එය සදාකාලිකව අල්ලාගෙන යාමට නොහැකි බව අල්තුසර් කියයි. මන්ද මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරන ආකාරයට  මතවාද පාලනය කිරීම බලය හිමි පන්තියට අසීරු වීම හේතුවෙනි.

මතු සම්බන්ධයි...

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර 


ආශ්‍රිත මූලාශ්‍ර ස්වල්පයක්


  • Althusser Louis - FOR MARX (Translated by Ben Brewster) 

  • Althusser Louis - Lenin and Philosophy and  other Essays (Translated by Ben Brewster)
  • Althusser Louis & Balibar Étienne - Reading Capital (Translated by Ben Brewster) 
  • අපනාසියෙව් වී.ජී - මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම (අනුවාදය දැදිගම වී රුද්‍රිගු) 
  • ඊගල්ටන් ටෙරී  - මාක්ස්වාදය සහ සාහිත්‍ය විචාරය (පරි.ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි)
  • චාමින්ද සුමිත් - අන්තෝනියෝ ග්‍රාමිස්චි 
  • මාක්ස් කාර්ල් එංගල්ස් ෆෙඩ්රික් - තෝරාගත් කෘති වෙලුම 3 
  • රණවීර ආරියවංශ - බටහිර විචාර විධි 
  • විජේගුණසිංහ පියසීලී - සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යනයක්