Monday, October 11, 2021

අපි නොදන්න ඇටේ...!


මේ පින්තූරේ තියෙන්නේ ‘ආසියාවේ මුතු ඇටේ ‘ උඩ තියපු ලෝකයේ දියුණුම රටවල් කීපයක්. ඒ කියන්නේ වෙන කොහේවත් ඒවා නෙමෙයි ආසියාවේම ව්‍යාඝ්‍ර රටවල් (Four Asian Tigers) හැටියට සලකන Hong Kong, Singapore, South Korea, Taiwan කියන රටවල්.

ඔය, මාතර දිස්ත්‍රීක්කය උඩ රතුපාටට තියලා තියෙන චූටිම චූටි ‘රට‘ වර්ග කිලෝමීටර් 716ක් විතර වන සිංගප්පූරුව. (‘ඇටේ‘ කියන්නේ වර්ග කිලෝමීටර් 65616ක් වන ශ්‍රී ලංකාවට නිසා, ඊට වඩා අනූ ගුණයකටත් වඩා කුඩා මේ රට හඳුන්වන්න රට කියනවා මිස සිංහල භාෂාවේ හොඳ වචන ඉතිරිවෙලා නෑ!)

අර කොළඹ දිස්ත්‍රීක්කේ උඩ තියලා තියෙන ළා කොළපාට රට වර්ග කිලෝමීටර් 1104ක් විශාල හොංකොන්.

ලංකාව මැද රෝසපාටින් තියලා තියෙන්නේ ලංකාවන් බාගයක් විතර වන තායිවානය. ඒ කියන්නේ හතරවෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් එයට නිමිත්ත විය හැකි ආසන්නතම හේතුව විය හැකියැයි බොහෝ විචාරකයින් පෙන්වා දෙන රට. තායිවානය වර්ග කිලෝමීටර් 36197ක් විතර.

ඒ අනුව මේ රටවල් තුනම ශ්‍රීලංකාව කියන ආසියාවේ අමුතු ඇටේ උඩ තිබ්බත් මේ ඇටේ තවත් විශාල බව පේනවා.

අර ළා නිල් පාටින් පැත්තකින් තියලා තියෙන්නේ දකුණු කොරියාව. ඒක විතරක් ලංකාවට වඩා ටිකක් විතර විශාලයි (100,363 km2).

ලංකාව වගේ නෙමෙයි මේ රටවල් බොහෝමයක් යුරෝපීය යටත්විජිතයන්ගේ ග්‍රහණයට අමතරව ජපන් අධිරාජ්‍යෙය් සහ චීන අධිරාජ්‍යෙය් ග්‍රහණයට ලක් වුණු රටවල්. ඒ වගේම ඒවා නිදහස ලබනකොටත් බොහෝ විට පැවතුණේ අපිට වඩා පහළ මට්ටමේ සංවර්ධනයක. මේ විදිහේ ඇතැම් රටවල් තම ආර්ථික මොඩලයන් සකස් කිරීමට ලංකාව ආදර්ශයට ගත් බවත් කියවෙනවානේ! ඒ වගේම ඇතැම් රටවල් සම්බන්ධ කරගෙන අපි උපහාස කතා කියනවා නොදියුණු කම පෙන්වන්න.

අතීතය විතරක් නෙමෙයි, මේ රටවල් සියල්ලට අදද චීනය දැඩි අභියෝගයක් වෙලා තියෙනවා. ඒක අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන අපිට තියෙන බලපෑම වගේ එකක් නෙමෙයි. අනිවාර්ය බලපෑමක්. හොංකොන් කියන්නේ චීනයේ ඝෘජු පාලන ප්‍රදේශයක් කිව්වත් ගැටලුවක් නෑ. මොකද සියලු ක්ෂේත්‍රයන් සඳහා ඊනියා ස්වාධීනත්වය ලබාදීලා තිබ්බත් එහි ආරක්ෂාව තවම දරන්නේ චීනය විසින්.

තායිවානය අද වනවිට ලෝකයේ විශාලම අවධානයකට ලක්වී ඇති රාජ්‍යයක්. කළිං කීවා සේ චීනය ඒ හමුවේ දරන මැදිහත්වීම මත හතරවන ලෝක යුද්ධයක් පවා ඇතිවිය හැකි බව ඇතැම් අය කියනවා. මේ සටහන තබන වෙලාවේත් තායිවානයේ මුහුදු හා ගුවන් සීමාවන් චීනය බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් සිටින බවට චෝදනා නැගෙනවා. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඈත්වුණේ තායිවානය හමුවේ ඇති චීන මැදිහත්වීමට එරෙහිව වැඩිපුර සොයා බලන්න බවත් ඇතැම් විශ්ලේශකයින් කියනවා.

අනික් අතට දකුණු කොරියාව කියන්නේ චීනයට අමතරව තම නොහික්මුණු නිවුන් සහෝදරයා වන උතුරු කොරියාවේ අභියෝගයටද ලක්ව ඇති රටක්.

අපිටත් පස්සේ නිදහස ලැබූ (1959) මෙන්ම හැට පහේදී පමණ මැලේසියාවෙන් බිඳී වෙන්වුණ රටක් වන, ලෝකයේ දියුණුම යටිතල පහසුකම් සහිත රට ලෙස සැලකෙන සිංගප්පූරුව භූමියේ කුඩා බව සංවර්ධනයට විශාල අභියෝගයක් වූ රටක්.

මේ ව්‍යාග්‍ර රටවලත් - ව්‍යාජ ඇටයේත් 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය මෙහෙමයි.


දකුණු කොරියාව - $ 1.63 trillion

හොංකොං - $349.45 billion

තායිවානය - $668.51 billion

සිංගප්පූරුව - $ 339.98 billion

ශ්‍රීලංකාව - $80.7 billion

විස්සයි විස්සේ මෙහෙමනම් විස්සයි විසි එකේ සහ විසි දෙකේ කොහොම තියෙයිද - ඩොලර්ස්?

අන්තිමට බලද්දි අපිට ඇටේ විතරයි නේ? මුතු නෑ!!!


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

3 comments:

  1. ඔක්කොම ඉතින් මේ අමුතු ඇටේ ඉන්න උන්ගෙ වැරදි.
    නිදහස් අධ්‍යාපනය ලබා දීපු කන්නන්ගර මහත්තයව ඉහලින්ම පරාද කරලා වෙන අය ගේන්න තරම් මේ ඇටේ ඉන්න උන් බුද්ධිමත් ඒ කාලේ ඉදලම ඒවා තමයි ඉතින් තාම තියෙන්නෙ.පුලුවන් අය මේ අමුතු ඇටෙන් පැනගත්තම ඉතුරු වෙන්නෙත් අර කට්ටියමයි. ඉතින් කොහොම ගොඩ යන්නද?

    අනික මේ රටවල් සංසන්දනය කරන්න බෑ එක දේකින්. ද. දේ. නි හෝ ද. ජා නි වලින්.
    හේතුව ලංකාවේ ගොඩක් තියෙන්නෙ අවිධිමත් ආර්ථිකයක්. ඒක ද දේ නි ඇතුලෙ නෑ. මේ වගේ ඕනි තරම් හේතු කියන්න පුලුවන්.

    මම නම් කියන්නෙ හැම මගුලම සංසන්දනය කරන්න ඕනි නෑ කියලා. එත්කොට ඔක්කොම ප්‍රශ්න. ලංකාව කියන්නෙ ලංකාවට. එච්චරයි

    තේරෙන්න කීවොත් නිකම් කපුටවයි ගිරවයි සන්සන්දනය කරන්න පුලුවන්ද???

    ReplyDelete
  2. අපි මහ කාළකණ්නි ජාතියක්වී අවසන්!

    ReplyDelete