Monday, October 4, 2021

පැන්ඩෝරාගේ පෙට්ටිය සහ නිරූපමාගේ පෙට්ටිය



 Pandora's box

------------------------

පැන්ඩෝරා (Pandora) කියන්නේ ග්‍රීක මිත්‍යා කථා වල ඉන්න, දෙවියන් විසින් නිර්මාණය කරන ලද, ස්ත්‍රියක්. ග්‍රීක කතාවල සඳහන් වන විදිහට පැන්ඩෝරා තමයි මනුෂ්‍ය ලෝකයේ පළමුවන ගැහැනිය. ග්‍රීක මහා දෙවි වන සියුස්ගේ අවශ්‍යතාව අනුවයි පැන්ඩෝරාව නිර්මාණය කරන්නේ. ඒ මිනිස්සුන්ගෙන් පළිගැනීමට.

මොකද අපි කවුරුත් අහලා තියෙන ‘ප්‍රොමිතියස්‘ (Prometheus) නම් ටයිටන්වරයා මිනිස්සුන්ට දිව්‍යෙලා්කයෙන් ගින්දර හොරකම් කරලා ගෙනත් දෙනවා. ගින්දර තමයි දෙවියන්ට තිබුණු මහාර්ඝ වස්තුව. මේ නිසා සියුස් ප්‍රොමිතියස්ව ලෝකය කෙළවර බැඳලා තියනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ බඩවැල් ඇදලා කන්න දරුණු උකුස්සෙකුත් මවනවා. මේ උකුස්සා ඇවිත් දවල්ට ප්‍රොමිතියස්ගේ බඩඉරලා බඩවැල් ඇද කා දමනවා. ඌ රාත්‍රියේ ගිය පසු ප්‍රොමිතියස්ගේ බඩවැල් ආය ලියලනවා. මොකද කළිං කිව්වා වගේ ප්‍රොමිතියස් කියන්නේ ටයිටන් වරයෙක්. ටයිටන් කියන්නේ අර්ධ දේව හා අර්ධ මනුෂ්‍ය කොට්ඨාශයක්. ඉතින් ටයිටන්වරු මරන්න බෑ. මිනිස්සු කෙරේ අනුකම්පාවෙන් මිනිස්සුන්ට දෙවියන්ගෙන් ගින්දර ගෙනත් දුන්න ප්‍රොමිතියස්ට එහෙම දඬුවමක් තමයි සියුස් ප්‍රමුඛ දෙවියන් දෙන්නේ.

ගින්දර ලැබෙන්න කළිං මිනිස්සු හිටියේ ගල් ගුහාවල ඉන්න මීයෝ වගේ. අතට ලැබෙන දෙයක් හොයාගෙන කාලා. නමුත් ගින්දර මිනිස්සුන්ගේ ශිෂටාචාරය වෙනස් කරනවා. ආහාර උයලා කනවා. පස් උණුකරලා ලෝහ ආදිය ගන්නවා. ඒවායෙන් නගුල උදැල්ල. දුන්න හීය  හෙල්ල ආදී දේවල් නිර්මාණය කරනවා. ඒ අනුව ගුල් අස්සේ හැන්ගිලා හිටපු මිනිස්සු අපූර්ව ශිෂ්ටාචාරයක් ගොඩනගාගෙන ප්‍රීති වෙද්දී, ගින්දර ගිහින් දුන් ප්‍රොමිතියස්ට විතරක් නෙමෙයි, ගින්දර භාවිත කරමින් සතුටු වන මිනිස්සුන්ටත් පාඩමක් උගන්නන්න මහා දෙවි සියුස් ඇතුළු පිරිස කල්පනා කරනවා.

ඉතිං කළිං කිව්වා වගේ, ඒ සඳහා තමයි මේ පැන්ඩෝරා කියන සුරූපී මනුෂ්‍ය ස්ත්‍රිය මවන්නේ. යුද්ධයට අධිපති දෙවඟන වන ඇතීනා මේ මවනු ලැබූ පැන්ඩෝරාට දිව්‍ය සළු පළඳනවා. ඇගේ හිසට ඔටුන්නක්ද දානවා. ඒ විදිහට දෙවඟනක් වගේ පැන්ඩෝරාව සරසලා ඈ අතට ලස්සන කුඩා පෙට්ටියක් ලබා දෙනවා. ඒක නිකංම නිකං පෙට්ටියක් නෙමෙයි ඒක ඇතුළට, ලෝකේ තියෙන නපුර, විනාශය, දූෂණය, මරණය, කුහකකම්, ලෙඩ රෝග, සාගත වසංගත ආදී සියල්ල දාලා තමයි ඒක පැන්ඩෝරාට දුන්නේ. එහෙම දීලා දෙවියෝ පැන්ඩෝරාට කියනවා මේ පෙට්ටිය කවදාවත්ම විවෘත්ත කරන්න එපා කියලා. මොකද දෙවියන් එහෙම කියන්නේ ඒ කුතුහලය නිසාම පැන්ඩෝරා ඒක අරින බව දන්න නිසා. 

කොහොම උනත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න හිතපු දෙවියෝ පැන්ඩෝරාව එවන්නේ කළිං අපි කියූ ප්‍රොමිතියස්ගේ සහෝදරයා වන, එපිමිතියස් (Epimetheus) වෙත. ඉතිං එපිමිතියස් පැන්ඩෝරාව විවාහ කරගන්නවා. පැන්ඩෝරා මනුෂ්‍ය ලෝකයට ඇවිත් ජීවත් වෙලා කාලයක් යද්දී ඇයට දෙවියන් තෑගි දුන් අමුතු පෙට්ටිය මතක් වෙනවා. ඒක විවෘත්ත කරලා බලන්න ආය ආය ආසා හිතෙනවා. ඒත් ඒක අරින්න එපා කියලා දෙවියෝ දීපු අවවාදය මතක් වෙලා හිත හදාගන්නවා. එසේ නමුත් දවසක් එනවා පැන්ඩෝරාට මේ පෙට්ටිය ඇරලා බලන්නේ නැතිව ඉන්න බැරි තරමට කුතුහලය වැඩිවෙන. ඉතිං පැන්ඩෝරා අර අපූරු පුංචි පෙට්ටියේ පියන විවෘත්ත කරනවා. නපුරුකම්,  කුහකකම්, දූෂණය, මරණය, ලෙඩ දුක් ආදී සියලු දේ ලෝකයට ඒ මගින් මුදා හැරෙනවා. නොහිතූ දෙයින් කළබල වූ පැන්ඩෝරා වහාම පෙට්ටිය වහනවා. යළි අරින්න බැරිවෙන්නම. නමුත් ඒ වෙනකොට පෙට්ටිය ඇතුළේ ඉතිරු වුනේ එක දෙයයි. ඒ ‘බලාපොරොත්තුව‘ විතරයි. 


නිරූපමාගේ පෙට්ටිය

------------------------

කොහොම උනත් පහුගියදා ලෝකයට තවත් පැන්ඩෝරා පෙට්ටියක් විවෘත්ත වුණා. ඒ තමයි ‘පැන්ඩෝරා පත්‍රිකා‘ (Pandora Papers). පැන්ඩෝරා පත්‍රිකා ලෝකයට හෙළිදරව් කළේ සුවිශේෂී මාධ්‍ය කණ්ඩායමක් වන ICIJ (International Consortium of Investigative Journalists) විසින්. 

ලෝකයේ කාලයෙන් කාලයට මේ වගේ රහස් පෙට්ටි විවෘත්ත වෙනවා. ජූලියන් අසාන්ජ්ගේ (Julian Assange) විකිලීක්ස්, පැනමා පත්‍රිකා (The Panama Papers) මීට කළිං විවෘත්ත වූ ඒ වගේ පෙට්ටි. එඩ්වඩ් ස්නෝව්ඩන් (Edward Snowden) ද මේ විදිහේ පෙට්ටියක් විවෘත්ත කළත් ඒකේ තිබ්බේ මීට වඩා ටිකක් වෙනස්, ඇමරිකාවේ රහස් ඔත්තු සේවය සම්බන්ධ තොරතුරු. කොහොම උනත් මේ බොහෝමයක අපේ රටේ නමක් දෙකක් සාමාන්‍යෙයයෙන් තියෙනවා!

මෙදා පාර විවෘත්ත කළ ‘පැන්ඩෝරා ලේඛන‘ වල රටවල් 100කට පමණ අයත්, මේවනකොට දේශපාලනයේ ඉන්න ජාතික නායකයෝ, කළිං හිටි නායකයෝ, දේශපාලඥයින්ගේ පවුල්වල අය, සමීපතමයින්, රාජ්‍ය නිළධාරීන්, හිටපු රාජ්‍ය නිළධාරීන්, විවිධ සංවිධාන නායකයින්, ඇමතිවරු, මාධ්‍ය ප්‍රධානීන්, නීති සම්පාදකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු සියලු පිරිස් පිළිබඳ නිරුවත මුදාහැරලා තියෙනවා. වඩා වැදගත් වන්නේ මේ අතර ඇති අති බහුතරය  (එංගලන්තය සහ ධනවත් අරාබි රටවල් කීපයක් හැරෙන්නට) ඉතාම දුප්පත් රටවල සිටින දූෂිත දේශපාලඥයින් හා දේශපාලඥයින්ගේ නෑ හිතවතුන් වෙන එක. 

ඒ අතර රටේ පුරවැසියාගේ යට ඇඳුම් ඇඳීම පවා කප්පාදුවට ලක් කළ, රටේ ආහාර අර්බුදයක් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය නිතර, නිර්වචනාත්මකව පැහැදිලි කරලා දෙන, එමෙන්ම පුරවැසියා ආහාරයට ගන්නා පරිප්පු ටිකට, සීනි ටිකට, කිරිපිටි ටිකට, ගෑස් ටිකට පවා අධික බදු පණවමින් සිටින ලංකාවේ නියෝජිතවරියක්ද ඉන්නවා. ඒ නිරූපමා රාජපක්ෂ. 

මේ පෙට්ටියේ තිබුණේ ග්‍රීක දේව කතාවේ පැන්ඩෝරාගේ පෙට්ටියේ තිබ්බා වගේ ශාපයන් නෙමෙයි. ලෝකයේ වෙසෙන දුප්පතුන්ගේ එදාවේල සූරා කමින් මංකොල්ල කා ධනවතුන් වූ පිරිසකගේ අති විශාල නීති විරෝධී මුදල් කන්දරාවන් හෙළිදරව් කරන මිලියන 12ක් පමණ ලිපි.  

අපිට ඕනෙනං අපි අර පුංචි කාලේ කරනවා වගේ ‘පැන්ඩෝරාගේ පෙට්ටිය‘ සහ  ‘නිරූපමාගේ පෙට්ටිය‘ කියන කතා දෙකේ සම අසමානතා සිය ගණනක් උනත් හොයන්න පුළුවන්. දෙක තුනක් බලමු.

පැන්ඩෝරා පත්‍රිකා ලෝකයට විවෘත්ත වුණ එකත් එක පැත්තකින් අර කියූ ග්‍රීක පැන්ඩෝරාගේ නපුර පිළිබඳ පෙට්ටිය විවෘත්ත වුණා වගේ තමයි. තවත් පැත්තකින් ඒක ටිකක් වෙනස්. පැන්ඩෝරා පත්‍රිකා මෙතෙක්කල් හැංගිලා තිබ්බ නපුර (නපුරෙන් සුළු කොටසක්) ලෝකයට හෙළිදරව්කළා. 

ඒ විතරක් නෙමෙයි, පැන්ඩෝරා කතාවේ උනා වගේම,තම අනාගතය ගැන,  තමන්ගේ රටේ අනාගතය ගැන,  පුරවැසියන් තුළ, කිසියම්ම හෝ ‘බලාපෙරොත්තුවක්‘ තිබ්බානම් ඒවා යළි අරින්නට බැරි වෙන්න අගුලුත් වැටුණා. 

ග්‍රීක පැන්ඩෝරා කියන්නේ එයා නොදැනුවත්ව මිනිස්සු වෙත නපුර ගෙනාපු කාන්තාවක්. නමුත් නිරූපමා කියන්නේ එහෙම නෙමෙයි. නිරූපමා කියන්නේම නපුර.

මිනිස්සුන්ට නපුර බෙදන්න පැන්ඩෝරාව නිර්මාණය කරන්නේ මිනිසුන්ට පිටින් ඉන්න දෙවියන්. නමුත් නිරූපමාලාව නිර්මාණය කරන්නේත්, පවත්වාගෙන යන්නේත්, ඉදිරියට ද පවත්වාගෙන යන්නේත් ඒ නපුරට ම භාජනය වන මිනිස්සුමයි. අපි පුරවැසියන් කියන්නේ ඒ අයට!

ග්‍රීක පැන්ඩෝරා තමංගේ පෙට්ටියේ තිබ්බේ නපුර කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් නිරූපමාලා ඒක හොඳටම දන්නවා.

පැන්ඩෝරාගේ පෙට්ටිය නපුරෙන් පිරෙන්නේ හොරකමට දඬුවමක් විදිහට (දෙවියන්ට අයත් ගින්දර හොරකම් කිරීමට). නමුත් නිරූපමාගේ පෙට්ටිය කියන්නේ හොරකමේ ප්‍රතිඵලයක්, දඬුවමක් නෙමෙයි.

තවත් පැත්තකින්, පැන්ඩෝරාගේ පෙට්ටියේ පිරිලා තිබ්බ නපුර එයාට අයිති එකක් නෙමෙයි. දෙවියන් රහසෙන් දාලා වහපු එකක්. පෙට්ටිය අරින්න තිබ්බ කුතුහලය විතරයි පැන්ඩෝරාගේ. නමුත් නපුරෙහි පෙට්ටිට පුරවන්න තිබ්බ කුතුහලයට වගෙම  නිරූපමාගේ පෙට්ටියේ තිබ්බේ ඇයටම (සහ ඇතැම් විට කියවෙන හැටියට ඇගේ පවුලේ අයටම)  අයිති නපුර.

වැදගත්ම දේ, පැන්ඩෝරා පත්‍රිකා යනු නපුරේ - දූෂණයේ සියලු නියෝජනය නෙමෙයි. මේ පිරිසගේ දැනට ලීක් වූ කොටසක් පමණයි. එසේම මේ රටවල සියලු දූෂිතයින් පැන්ඩෝරා පත්‍රිකාවලින් මෙතෙක් හෙළිදරව් නොවූ බවද පැහැදිලියි. 

මේ පැන්ඩෝරා පත්‍රිකාවන් තුළ ICIJ මාධ්‍යෙව්දීන් අපගේ පැන්ඩාරා බිසව නිරූපමා ගැන දීලා තියෙන හේතුපාඨයෙන් කොටසක්..

“Nirupama Rajapaksa is a cousin of Sri Lanka’s president, Gotabaya Rajapaksa, who rose to power during a brutal civil war. She is also a former member of Parliament and served as deputy minister of water supply and drainage from 2010 to 2015.

Her husband, Thirukumar Nadesan, has worked as a consultant and hotel entrepreneur, according to a biography on his company website. In 2016, he was charged with embezzlement in connection with a real estate deal involving another member of the president’s family Basil Rajapaksa, accused of using public funds to build a villa. The case is pending; Nadesan and Basil Rajapaksa, Sri Lanka’s current finance minister, have denied wrongdoing…”

මතක තියාගන්න; අපි තාම දන්න්නේ නිරූපමාගේ පෙට්ටියේ හෙළිදරව් වූ කොටස් පමණයි. මෙතෙක් හෙලි දරව් නොවූ කොටස්ද තිබිය හැකි අතර තවත් පිරිස්වලට අයත් තවත් පෙට්ටිද තියෙන්න පුළුවන්.

ඔව්, ඇත්තමයි නිරූපමා, ඔයාට කියන්න උපමා මං ළඟ නෑ…….!!


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
        (2021.10.04)


2 comments:

  1. Yes, Nirupama is Rajapaksa but she is more close to Premadasa via her husband Thirukumar Nadeson who is a Group Director of Maharaja organisation for long time.

    ReplyDelete