Monday, October 10, 2022

උමතු කෙල්ලගේ ආදර ගීතය (Mad Girl’s Love Song ~ Sylvia Plath)

 


දෑස් වසනෙමිය මම්, මුළු ලෝකයම මිය යයි;
නෙත් පියන් ඔසවමි, යළි සියලු දේ උපදී.
(මම හිතන්නේ, මගේ මනසේ ඔබ ගොඩනැගුවා මම)
තාරුකා නර්තයකය නිල් හා රක්තවන් පැහැයෙන්,
හිතුවක්කාර කළු පෑහැය කඩිනම්ම ගමනක:
මම දෑස් වසනෙමි, මුළු ලෝකයම මිය යයි.
මම සිහින මැව්වේ, මෝහනය කළයු‘රුයි යහන වෙත ඔබ මා
ප්රේමයෙන් සිහිවිකල විය මම, මා සිපගත්තේ ඔබ උමතුවෙන් මෙන්.
(මම හිතන්නේ, මගේ මනසේ ඔබ ගොඩනැගුවා මම)
දෙවියන් ඇද වැටේ අහසින්, නිරයේ ගිනි දළු මැකී යයි:
නික්මී යනු මැන, තුඟු දෙව්දූතයන්ගෙන් මෙනම සාතන්ගේ මිනිසුන්ගෙන්ද.
මම දෑස් වසනෙමි, මුළු ලෝකයම මිය යයි.
නිරතුරුව මම සිතුවෙ, යළිදු ඔබ එනු ඇතැ‘යි පිළිණ දුන් ලෙසින් මට,
එසේවද වියපත්ව අමතක කරමි නුඹෙ නම.
(මම හිතන්නේ, මගේ මනසේ ඔබ ගොඩනැගුවා මම)
ඔව් ඔබ වෙනුවට, අසනි කුරුල්ලෙකුට* පෙම් කළ යුතුව තිබුණා මම;
වසන්තය එළැඹෙන විට අඩුම තරමේ යළි ගුගුරන.
මම දෑස් වසනෙමි, මුළු ලෝකයම මිය යයි.
(මම හිතන්නේ, මගේ මනසේ ඔබ ගොඩනැගුවා මම)

* Thunderbird - දකුණු ඇමරිකානු පුරාවෘත්තමය පක්ෂියෙකි. ඌ තම පියාපත් ගටා ගිගිරුම් ඇති කරන බවත්, ඇස් දැල්වීමෙන් විදුලි කෙටීම ඇති කරන බවත් කියැවේ. - පරිවර්තක

[Translated by: Prasad Nirosha Bandara]

Monday, September 5, 2022

අවුෂ්විට්ස් ඝාතක කඳවුර - නට්සිවාදීන් සහ අවසන් විසඳුම ( AUSCHWITZ THE NAZIS & THE FINAL SOLUTION)

 



Laurence Rees විසින් රචිත සුප්‍රකට කෘතිය “අවුෂ්විට්ස් ඝාතක කඳවුර - නට්සිවාදීන් සහ අවසන් විසඳුම”

AUSCHWITZ THE NAZIS & THE FINAL SOLUTION
************************************************************************************

ඝාතක කඳවුරක් කියපුවාම මොකක්ද ඔබේ සිහියට එන්නේ
මොන වගේ හැඟීමක්ද ඔබේ හදවතට දැනෙන්නේ?

කොටිංම කියනවානම් ඝාතන කඳවුරක් යනු
මිනිසාට එරෙහිව
මිනිසාගේ අමනුෂ්‍යත්වයේ තරම
වටහා ගැනීමේ යතුරක්

එතකොට අවුෂ්විට්ස්?
එකොළොස් ලක්ෂයක් වූ ගැහැනුන්ගේ
පිරිමින්ගේ සහ දරුවන්ගේ හුස්ම පොඳ ඩැහැගත්ත
පිරිසිදු ආර්ය රුධිරයේ උමතු ගිජුලිහිණියන්ගේ මිනී කම්හල.

ලෝකයේ බිහිසුණු ම ඝාතක කඳවුර

අවුෂ්විට්ස්
භීතිය, භාතනය, කෲරත්වය, වේදනාව, ඉච්ඡාභංගත්වය කැටිවුන
ඒ අපකීර්තිමත් නට්සි වධකාගාරය
හිට්ලර්ගේ මිනී කම්හල
මිනිසාට එරෙහිව
මිනිසාගේ අමනුෂ්‍යත්වයේ තරම
ඇර දෙන යතුර

කියවන්න-
ලෝරන්ස් රීස්ගේ සුප්‍රකට කෘතිය “අවුෂ්විට්ස් ඝාතක කඳවුර - නට්සිවාදීන් සහ අවසන් විසඳුම”
AUSCHWITZ THE NAZIS & THE FINAL SOLUTION

Saturday, September 3, 2022

ඉතිහාසයේ අවසානය (The End of History and the Last Man)

 


Francis Fukuyama විසින් රචිත සුප්රකට ලේඛනය The End of History and the Last Man
**************************************************************************************

පන්ති ක්රමය සහ ආර්ථික ක්රමය ගැන,
ඉතිහාසයේ පරිණාමය ගැන,
කොටින්ම ඉතිහාසයේ අවසානය ගැන ඔබට ඉගැන්නුවේ කවුරුන්ද?
මාක්ස්?
ස්පෙන්ග්ලර්?
ඓතිහාසික භෞතිකවාදය ගැන ඔබේ සෑහීම කුමක්ද?

ඉතිහාසයේ අවසානය එතනින් මෙහා තැනකට ඔසවා තබන
ෆ්රැන්සිස් ෆුකුයාමාගේ සුප්රකට ලේඛනය
The End of History and the Last Man
ඔබ කියවා ඇත්ද?

‍ෆුකුයාමාඉතිහාසය නතරකරන්නට කැමති තැනින්
ඔහුගේම ජපාන ඥාති පරම්පරාවට
හිරෝසිමාවේදීත්, නාගසාකියේදීත්
ලබාදුන් දායාද පිළිබඳ ඔබට විචාරයක් තිබේද?

වර්තමාන දේශපාලනික යථාර්ථයන් හමුවේ
ෆුකුයාමානු ලිබරල් යුතෝපියාවේ
පැවැත්ම තහවුරුව ඇතිත්තේ කෙසේද?

ඔබේ මතවාදය කුමක් වුවත්
විද්යාර්ථයකු - දේශපාලනික ජීවියකු වශයෙන්
මගහැර යා නොහැකි සුවිශේෂී ලියවිල්ල

කියවන්න -
ෆ්රැන්සිස් ෆුකුයාමාගේ සුප්රකට ලේඛනය The End of History and the Last Man හි සිංහල පරිවර්තනය “ඉතිහාසයේ අවසානය”

Friday, September 2, 2022

“උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය” (Their Morals And Ours)


 

ලියොන් ට්රොට්ස්කිගේ සුප්
රකට ග්රන්ථය “උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය”

(Their Morals And Ours).

****************************************************************************

මිනී මැරීම පිළිබඳ දෛනික යථාර්ථය කුමක්ද?
සාමාන්ය මිනිසෙක් -
“නුඹ මිනී නොමැරිය යුතුයි” යන සික්ෂාව ආරක්ෂා කරයි.

ආත්මාරක්ෂාව සඳහා සුවිශේෂී තත්ත්ව යටතේ ඔහු මිනී මරන්නේනම්?
විනිශ්ච්යකරුවා ඔහුගේ ක්රියාව සම්බන්ධයෙන් සානුකම්පිතව සලකයි.

මිනී මැරුම සම්බන්ධයෙන් ඔහු වැරදිකරුවකු වුවහොත්
අධිකරණය මිනීමරුවා ඝාතනය කරයි.

එතකොට රාජ්ය සම්බන්ධයෙන් ?
“නුඹ මිනී නොමැරිය යුතුයි” යන්න තනි සිද්ධීන්ට සීමා වෙයි
සාමකාමී කාලයන්හි යුද්ධය පිළිකෙව් කරන “මානුෂික” ආණ්ඩු
විශාලම පිරිසක් සමූල ඝාතනය කිරීම
හමුදාවේ ඉහළම යුතුකම බවට යුධ කාලයන්හිදී නිවේදනය කරයි.

සදාචාරයේ විසංවාදය එයයි..!!

කියවන්න -
ලියොන් ට්රොට්ස්කිගේ සුප්රකට ග්රන්ථය “උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය”
(Their Morals And Ours)

Wednesday, August 24, 2022

තවමමත් මතකයි ඒ පුදුම එළවන මොහොත [ I still recall the wondrous moment ~ Alexander Pushkin ]



තවමමත් මතකයි ඒ පුදුමඑළවන මොහොත:

ඔබ පෙනී සිටි විටදි මගේ දෑස් අබියස

කෙටි හා ක්ෂණික පෙර නිමිත්තක් ලෙද,

මන බඳින ආලෝකයේ සුපිරිසිදු මායාව.


දුකේදී, ගිලන් වූ විට හිත මගේ 

කලබලම වෙලාවල, තෝන්තුවා මොහොත්වල 

ඔය මුහුණෙ ලකුණු ගැන මැව්වෙමිය හීන මම

නුඹේ කට හඬ, ඔව් දැනෙනවා ඒවගෙම.


වසර ගණනක් ගෙවුණි, සැඩ සුළන් පහව ඇත

මගේ පෙර පැතුම් හා, ඒවගෙම

එදවසෙහි අහිමි විය නුඹේ හඩේ සොඳුරුතම මැතිරුම.


නුඹ වතේ ඇතිරුණු පිවිතුරුම ම සලකුණු! 

අඳුරේ රඳවා මා - හුදකලාවේ

ඇදෙන්නට ගත්තා මගේ දවස් අවුල වෙත.

විශ්වාසයක් හා ආනුප්‍රාණයක් නැතිව,

කඳුලක්, ප්‍රේමයක් මෙන් ජීවිතයක් ද නොමැතිව.


මගේ ආත්මය සේන්දු විය ප්‍රබෝධමත් මොහොතට;

ප්‍රාදූර්භූත විය නැවත නුඹ මගේ දෑස් අස

කෙටි හා ක්ෂණික පෙර නිමිත්තක් ලෙද

මන බඳින ආලෝකයේ සුපිරිසිදු මායාව.


මගේ හදවත දැන්, මෝහනයෙන් වෙළී

ස්පන්දනය වේ තදින්,  ඉපිළී යළිත්

නොවක් විශ්වාසයක් හා ඇතිව ආනුප්‍රාණයක්,

මුදු මොළොක් කඳුළු මෙන්ම ප්‍රේමය සමග ජීවිතය.

Translated by: Prasad Nirosha Bandara


Monday, July 4, 2022

අරගලයේ තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවයයි (Velvet Revolution & current Sri Lankan struggle)


ලංකාවේ උද්ගතව ඇති වත්මන් අරගලයට සමාන අරගල ගණනාවක් ලෝක ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්. ඊයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හැරෙන්නට, ඉතා සාමකාමී අරගලයක් වූ මේකට ඉතා සමාන විප්ලවයක් තමයි චෙකොස්ලෝවැකියාවේ ‘විල්ලුද විප්ලවය‘ (Velvet Revolution). මෙය Gentle Revolution ලෙසද හැඳින්වූයේ එය සාමකාමී අරගලයක් (non-violent struggle) වුණ නිසාමයි. 


අරගලයට අදාල හේතු රටේ කාලාන්තරයක් තිස්සේ තිබ්බත්, 1989 නොවැම්බර් 17 වෙනිදා සිට නොවැම්බර් 27 දක්වා ගිය විල්ලුද විප්ලවයේ මූලික ගිණි පුළිඟු දැල්වූයේ එරට විශ්වවිද්‍යාල ශිෂයයින්. (ලංකීය අරගලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වූයේද ඇඳිරිනීතිය දින ලංකාවේ ශිෂ්‍යයින් ගෙන ගිය අරගලය කියන්න පුළුවන්. ඊට පෙර සිටද හුදකලා අරගල තිබුණත්, නිර්භීතව එදා පාරට බහින්න රට පුරා හැමෝටම ධෛර්යය දුන්නේ ඒක.) 

කොහොම උනත් ඒ ධෛර්යය නිසා  චෙකොස්ලෝවැකියාවේ විවිධ දෙසින් මිනිස්සු මේ විප්ලව වලට එකතු වුණා. හන්දියක් හන්දියක් ගානේ ඒ අරගලය බෝ වුණා. 

එහෙම වුණත් රජයන් ඒ සඳහා කිසිදු සැලකිය යුතු ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඒ අය විප්ලවය දියකර හරින්නට හැකිතාක් වෑයම් ගත්තා. මිනිසුන් මිය ගියා.  

නමුත් රජයට නොසලකා නොහැර බැරි දෙයක් ඊළඟට සිදුවුණා. ඒ මේ විල්ලුද විප්ලවයට රජයේ නිලධාරීන් එකතුව මහා වැඩවර්ජනයක් ආරම්භ කිරීම.  අවසානයේ චෙකොස්ලෝවැකියානු රජයට ඊට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි වුණා. (අපේ අසූවේ වැඩවර්ජනයේ ප්‍රථිඵල මීට වෙනස්) ඒ අනුව පාලකයින් නිරුත්තර වුණා. ඒ අයට වේදිකාවෙන් බැස යන්න සිදු වුණා. 


ඒ නිසා ඕනෑම විප්ලවයක තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවය කියන්න පුළුවන්....

හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි, වෙල්වට් විප්ලවය මගින් සිදු කළේ එක් කෙනෙක් බලයෙන් පහ කරලා ඒ ක්‍රමය යටතේම තව කෙනෙක් බලයට ගේන එක නෙමෙයි. ඒ අය ඊට වඩා වැදගත් ක්‍රමවේදමය වෙනසක් සිදු කළා. ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගියා... 

තම මූලික අරමුණ ගැන සියලු අරගලකරුවන් දේශපාලනිකව දැනුවත්වීමේ, දැනුවත් කිරීමේ වැදගත්කම තියෙන්නේ එතනයි. විශේෂයෙන් ඒකීය නායකත්වයකින් තොරව, විවිධ තැන්වල ජන අරගලයක් ලෙස නැගී සිටිද්දී ගැටලු මතුවන්න තියෙන ඉඩ එතකොට අඩුයි....

Thursday, June 30, 2022

ට්‍රිකල් ඩවුන් න්‍යාය, ලංකාව සහ ලංකාවේ ටයිල්ස් මාෆියාව [Trickle down theory, Sri lanka and current Sri Lankan floor tiles mafia]



ලංකාවේ දේශපාලනය ගැන කියවීම් කරද්දී අපි නිතර සාදෘෂ්‍යකරණයකට ගන්න දෙයක් තමයි ‘බොනපාර්ට් තියරිය‘. අපේ රටේ සමස්ත දේශපාලනයම හැදිලා තියෙන්නේ ඒ තියරියට අනුව. නැපෝලියන් බොනපාර්ට් (Napoleon Bonaparte) නම් ප්‍රංශ අධිරාජ්‍යයාගේ සුප්‍රකට යුධ ක්‍රියාන්විතයේදී ඔහු රටින් රට අත්පත් කරගනිද්දී, තම සෙබලු ධෛර්යමත් කරමින් තම අරමුණ කූඨ විදිහට සිදු කරන්න පාවිච්චි කළ කුප්‍රකට උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි තමන් ඉදිරියට අල්ලන්න යන රට (නගරය) පේන කන්දක් උඩට ගිහින් තම යුධ නායකයින්ට ඈතින් තියෙන ඒ රට පෙන්වන එක. ඒ පෙන්නලා බොනපාට් මෙහෙම කියනවා.

‘‘අන්න අර ඈත තියෙන රට පේනවා නේද උඹලාට. ඕක ඔහොම තිබ්බට ඉතාම සශ්‍රික රටක්. ඕකේ ඕන තරම් ධන ධාන්‍ය, බව බෝග, රන් රිදී තියෙනවා, මුතු මැණික් තියෙනවා. ලස්සන ගෑනු ඉන්නවා. උඹලා ඒ රට පරාජය කළාට පස්සේ ඒ සියල්ල අයිති උඹලාට. උඹලා ඒවා බෙදාගනින්. මට ඒ කිසිවක් එපා. මට ඕන ඒ ප්‍ර දේශය අත්පත් කරගන්න විතරයි...‘‘

ඉතිං මේ නිලධාරීන් තමන් යටත් ඉන්න සෙබලුටත් ඒ න්‍යායම භාවිත කරනවා. කර කන්ද උඩදී සෙබලුන්ට ඈත තියෙන ඒ එට පෙන්නලා කියනවා, 

‘‘අන්න අර ඈත තියෙන රට පේනවා නේද උඹලාට. ඕක ඔහොම තිබ්බට ඉතාම සශ්‍රික රටක්. ඕකේ ඕන තරම් ධන ධාන්‍ය, බව බෝග, රන් රිදී තියෙනවා, මුතු මැණික් තියෙනවා. ලස්සන ගෑනු ඉන්නවා. උඹලා ඒ රට පරාජය කළාට පස්සේ ඒ සියල්ල අයිති උඹලාටයි අපිටයි. අධිරාජ්‍යා කීවා ඒවා අපි ලබාගන්නවාට උන්නාන්සෙ විරුද්ධ නෑ කියලා...‘‘

ඉතිං සෙබළු කොහොම හරි මැරීගෙන යුද්ධ කරනවා. අන්තිමට ඒ රට අල්ල ගන්නවා. රට අල්ලාගත්තාම උඩම ඇවරිය රජ්ජුරුවන්ට. දෙවෙනි ඇවරිය යුධ සෙන්පතියන් සහ ප්‍රභූවරුන්ට. ඒ විතරක් නෙමෙයි හමුදා සෙබළුන් ඇතුළු නිළධාරීන්ටත් යට ඇවරියක් දෙනවා පොරොන්දු වුණා වගේම ඔවුන් ඒ රටේ සම්පත් කොල්ලකනවා. රට ගිනිබත් කරමින් සතුටු වෙනවා. පිරිමි මරණවා. ස්ත්‍රීන් හා ළමයි දූෂණය කරනවා. මේ විදිහට හැමෝටම බෙදන නිසා වැඩෙත් සාර්ථකව යනවා. විරෝධයකුත් නෑ. හැබැයි රටයි රටේ ජනතාවයි නැත්තටම නැතිවෙනවා. මේ වගේ අවස්ථාවක ඇත්ත තත්ත්වය කොහොමද කියලා තේරුම්ගන්න නැපෝලියන්ටත් සියවස් ගණනකට පෙර සිටි මහා ග්‍රීක නාට්‍ය කරුවකු වන යුරිපිඩීස්ගේ (Euripides) The Trojan Women නාට්‍යය බැලුවා හෝ කියෙව්වානම් හොඳටම ඇති. 

ලංකාවේ නූතන ගැලවුම්කරුවා කියලා ඇතැම් අය සලකන ධම්මික පෙරේරා ඉන්නෙත්, මැද ඇවරියක් නෙමෙයි උඩම ඇවරියක් කන ටොප් ලේයර් එකේ තමයි. පාලකයින් තමන් වෙත මේ රට දේශපාලනිකව හා දෘෂ්ටිවාදාත්මකව මංකොල්ල කෑමට ඒ අයව යොදාගන්නවා. තමන් වෙත විශාල ජන විරෝධයක් එද්දී ඒක තාවකාලිකව බේරගන්න මේ අයව හිටිවනම අහසින් බට ගැලවුම්කරුවන් සේ ගෙන්වා ගන්නවා. හැබැයි ඒ  නැපෝලියන් කළා වගේ ම ඒ අයට හිතුමතේ රට මංකොල්ල කන්න ඉඩ දීලා. ඒ වගේම මේ ස්ථරය තමන්ට යට සිටින ස්ථරයටත් ඒ දේම කරනවා. ඒ කොහොමද කියලා පස්සේ කියන්නම්. 

ධම්මික පෙරේරලා රට ගොඩ දාන විදිහ ගැන හිතාගන්න, කොවිඩ්කාලේ මුළු රටම වැටෙද්දී එයාගේ ආදායම් වැඩිවීම, රතුපස්වල සිද්ධිය, ලංකාවට කුණු ගෙන්වීම, කැසිනෝ වගේ උදාහරණවලට යන්න ඕන නෑ. මෙ මොහොතේ රටේ ඇතිකරලා තියෙන ටයිල්ස් මාෆියාවම ඇති.

මේ අය, අද වනවිට ටයිල්ස් ඇතුලු දේවල ඒකාධිකාරිය තමන් අතට අරන්, රට පුරා ඊනියා ටයිල්ස් හිගයක් ඇති කරලයි තියෙන්නේ. ඒ මේ ද්‍රව්‍ය සීයට සීයක් ලාභය තියාගෙන විකුණන්නමින් සිටියදී පවා. 

මේ අයගේ ඇතැම් ආයතනවලින් ටයිල්ස් පාරිභෝගිකයා ඒවා ඕඩර් කරලා බාගයක් සල්ලි බඳින්න ඕන. ඒ සල්ලි බැඳලා අපි මාස 10ක් 11ක් යනකන් බලන් ඉන්න ඕන. ඒවා ලැබෙන්න අවුරුද්දක් විතර යයි කියනවා. හැබැයි සමහර විට කොම්පැණියේ ටයිල්ස් නැති වුණාට එළියේ කළුකඩවල තියෙනවා!! අන්න ඒක තමයි නැපෝලියන් තියරිය දෙවැනි ස්ථරයට වැඩ කරන තැන.

යිල්ස් අධික මිළ යටතේ තම ආයතනයේ විකුණනවාට වඩා වෙනත් බාහිර කළුකඩකාරයින්ට දීලා තවත් මිළ වැඩිකරලා විකුණලා ඒ අයටත් ලාභයක් අරං දෙන්න මේ අය කටයුතු කරනවා. ඒකයි කම්පැණියේ නැති ටයිස්ල් කළුකඩවල තියෙන්නේ. මතකනේ නැපෝලියන්ගේ සෙනවියෝ රට අල්ලගෙන සම්පත්වල උඩම දේවල් මංකොල්ල කෑවේ සෙබලුන්ටත් අතමිටින් ගිලිහෙන දෙයක් දීලා කියලා. ඉතිං ඒ සෙබලු තමයි කළු කඩ කාරයෝ. ඒ විදිහේ ක්‍රමයෙකට තමයි ආර්ථික විද්‍යාෙව් trickle down theory කියලා කියන්නේ.!!

හැබැයි ධම්මිකලා මේ සිද්ධියේදී කරන්නේ තම යටතේ සිටින හිතවතුන්ට වාසි අරං දෙන එක විතරක් නෙමෙයි. ඒ අය බොනපාර්ට් ට වඩා මේ විෂයේදී ගොඩක් ඉදිරියෙන් තමයි ඉන්නේ. ටයිල්ස් ඇතුළු භාණ්ඩවල මිළ අති විශාල අයුරින් වැඩිකරලා, එහෙම උනත් කම්පැණියේ ගන්න නැති කරපුවාම කළුකඩ කාරයෝ වැඩි කරපු මිළත් දෙගුණ කරලයි විකුණන්නේ. ඉතිං පාරිභෝගිකයෙක් කම්පැණියට ගිහින් ටයිල්ස් මිළ අහලා, කළු කඩේ අහද්දී ගොඩක් වැඩි බව වැටහුණාම ඒ අය හිතන්න ගන්නවා ධම්මිකලා හරි ධාර්මික මිනිස්සු කියලා. මොකද කළු කඩේ ගණන් අහද්දි අර අසාධාරණ වැඩිකිරිල්ලයි ටයිල් හිගයයි හැම දේම ඒ අයට අමතක වෙනවා.  

අනික් කාරණය තමයි, මේ ධාර්මික ටයිල් ව්‍යාපාර ප්‍රදර්ශනාගාරවල හිටිගමන් තියෙන ටයිල් කැටය දෙක වුණත් ගන්නවානම් නිකං ගන්නත් බෑ, ටයිල් මෝටා, ග්‍රවුට් ඔක්කොම එතනින් ගන්න ඕන. හරියට පහු ගිය දවස්වල කිරි පැකට් ගන්නනම් යෝගට් ගන්න ඕන කිව්වා වගේ !!

බොහෝ විට යම් පාරිභෝගිකයෙක් තම අවකාශයේ ප්‍රමාණය ලබාදුන් පසු, අදාල ආයතනවල වැඩ කරන අය නිවැරදිව ටයිල්ස් ඇතුළු අමතර උපාංග ප්‍රමාණය ගණනය කරන්නනේ නෑ. එක්කෝ වැඩියෙන් දෙනවා. නැත්තං අඩුවෙන් දෙනවා. වැඩි නම් ආපහු මුදල් ගන්න බෑ. හදිසියේ මාරු කරනවානම් මාසයක් ඇතුළත මාරු කරන්න ඕන. ඒත් පෙට්ටි වශයෙන්. ඒ මාරු කරද්දි වෙනම සේවා ගාස්තු අය කරනවා. අලුත් මිළ කියලා තවත් වැඩි මිළක් අය කරනවා. ඒ කරලත් උන්ගේ රෙස්පට් බලන්නත් ඕන. හරියට අපි දිග පළලට යන කැට ගාණ ගණන් කරලා වැඩිපුර ඉල්ලලා වගේ.

ඒ විතරක් නෙමෙයි මේ ධාර්මිකයින් විකුණන ආනයනික භාණ්ඩවල මිළත් ඒ විදිහමයි. ඒ ගොල්ල බ්‍රෑන්ඩ් කරපු Coloma කොමඩ් එකක් විතරක් රුපියල් ලක්ෂයක් විතර, Swisstek බාත්රූම් දොරක් 65000ක් විතර. Coloma සහ Swisstek වල ඒජන්ත අදාල සමාගම්. ඒවායේ වැඩ කරන සමහර මිනිස්සුම කියන විදිහට, දැන් ටික කාලෙකට කළින් ඕවගේ මිළ සෑහෙන අඩුයි. ඒ වගේම ඉස්සරහට ඕවා තවත් වැඩි වෙනවා දවසින් දවස.! 
ඉතිං අවසානයේ අහන්න තියෙන්නේ මෙච්චරයි, අපි මේ බොනපාර්ට් නරියන්ට කුකුල් කොටු බාර දීලා රට දියුණුවෙනකම් හීන දකින ජාතියක් නෙමෙයිද…?

Wednesday, June 29, 2022

අමතක කළෝතින් නුඹ මා [If You Forget Me ~ Pablo Neruda]


 

එකම දෙයක් ඔබට කියන්නයි
මට ඕන
ඔයා දන්නවා ඒ වග;
බැලුවොතින් හෙම මම
මන්දගාමී සරත් ඍතුවේ,මා ජනේලය අස
රක්තවන් ශාඛාවක වූ
පළිඟුවන් හඳ දෙස,
ස්පර්ශ කළොත් හෙම මා
ගිනි හුල අසළ
අතිශ්ය සිහින් අළු හෝ
සියුම්වට රැලිගැසුන ලී දඬු
ඒ හැම රැගෙන යයි මා ඔබ වෙත,
පවතින සියලු දේ මෙන්,
සුවඳ, ආලෝකය, ලෝහ
කුඩා බෝට්ටු විලස
යාත්රා කරනවා
මා එන මග ඇස් යොමා සිටින
ඔබේ දූපත් දෙසට.
ඔව් දැන්,
නවත්වනවානම් ඔයා පෙම් කරන එක ටිකෙන් ටික මට
නවත්වමි මම ද මගෙ ප්රේමය ද බිඳ බිඳ.
හදිසියේ, අමතක කළොත් හෙම ඔබ මා
නොසොයන්න යළි මා ගැන
මන්දයත්, මටත් ඔබ අමතකව ඇති එදින.
මගේ ජීවිතය හරහා හමා යන
විජිනිපත් සෙලවෙන හුළඟ,
දුරස් හා උමතුයැ‘යි හඟියිනම් හා
වෙරළත මත
හැර දමායන්නට මා
තීරණය කරයිනම් නුඹ,
සිහි තබාගනුමැන,
ඒ දිනේ
ඒ පැයේදීම
මා මුදාගත යුතුයි මගේ අත්
ඇදී යනු ඇත මගේ මුල්
වෙනත් භූමියක් සොයමින්
එනමුදු,
හැම දිනයකදීම
සෑම පැයකදිම
මා වෙනුවෙන්ම නිර්මිත බව හැඟේ නම් නුඹ
අසීමිත මිහිරියාවක් සමගින්,
කුසුමක් ඔබේ දෙතොලත
හඟීනම් සෑම දිනකම
නැගී විමසනු
මා ගැන.
අහා මගේ ප්රේමය,
මගේම වූ පෙම්වතිය
මා තුළ ඒ සියලු ගින්දර නැවත නැවතත් දැල්වේ
කිසිවක්ම නිවී හෝ අමතක වී නොමැතිය,
ඔබේ ඔය ප්රේමයෙන් සුපෝෂිත වේ මගේ ආලය
ප්රේමිය,
ඔබේ දිවි ඇති තුරා
එය ඔබේ සුරත මත
අත් නොහැර මගේ දෑත්
ඇත්තමයි රැඳෙනු ඇත.

Translated by: Prasad Nirosha Bandara

Tuesday, June 21, 2022

අද රාත්‍රියෙහි මට දුක්බරම වැකි ලියනට හැක [Tonight I Can Write The Saddest Lines ~ Pablo Neruda]

 

අද රාත්‍රියෙහි මට දුක්බරම වැකි ලියනට හැක.

ඔව්, උදාහරණයක් හැටියට, ‘රාත්‍රිය සුණු විසුණු වී ඇත.
සුනිල්වන් තරුකැට ඈත මායිමේ සසැලේ'

බ්‍රමණිත, රාත්‍රී සුළඟ අහස් ගැබ ගායනයක.

අද රාත්‍රියෙහි මට සෝබරම වැකි ලියනට හැක.
මම ඇයට පෙම් කළෙමි. සමහර විට ඈත් මට පෙම් කළා.

මේවන්ම රැයකදී ඈ හොවා ගතිමි මා අත
නිමක් නැති අහස යට යළි යළිදු සිපගතිමි.

ඇතැම් විට ඈ මවෙත පෙම් කළා, මම ඇයට පෙම් කළෙමි.
කෙලෙසනම් පෙම් නොකර සිටිමිද ඒ විසල් නිසල දෑසට?

අද රාත්‍රියෙහි මට දුක්බරම වැකි ලියනට හැක.
ඈ මට නොමැති බව සිතන්නට, ඈ මට අහිමිවී ඇති බව දැනෙන්නට.
 
ඈ නොමැතිවා වුවද තාමත්ම අතිමහත්, මේ විසල් රාත්‍රිය වෙත සවන් දෙන්නට.
තණබිමට පින්න සේ, දුක්බරම වැකි කඩා වැටෙනවා ආත්මෙට.

රඳවාගත නුහුනු වුව කම්නැත ඈ මගේ ප්‍රේමය මත.
රාත්‍රිය සුණු විසුණුය, ඈ නොමැත මා අස.

මෙපමණයි, කවුරුදෝ ගී ගයයි ඈතින් - දුරින්
ආත්මය නොපිළිගයි අහිමිවී ගිය බවක් ඈ. 

ඇවෙත දිව යන්න මෙන්, මා නුවන් ලුහුබඳියි
මගේ හද ඈ සොයයි, ඈ නොමැත මා අසළ.

ස්ථිරයි, මම තවත් ඇයට පෙම් නොකරමි, 
එසේ වුව මා ප්‍රේම කළ අයුරු?

ඇගෙ සවන් අතගාන පවනක් සොයා නිතර
හැම විටම මගේ හඬ නිරත විය වෑයමක.

තවත් කෙනෙකුගේ - ඔව් ඈ තවකෙකුගෙ වනු ඇත. පෙරදා මගේ හාදු මෙන්,
ඈ අහිමි රික්තකය, ඈ දීප්තිමත් සිරුර, අනන්ත ඇස්.

ස්ථිරයි, මම තවත් ඇයට පෙම් නොකරමි, ඒත් සමහරවිට මම ඇයට ආදරෙයි.
ප්‍රේමය බොහොමත්ම කෙටියි, අමතකවීම් දිග වැඩියි.

මන්ද යත්, මේ වන්ම රැයවල ඈ මා දෑත්යුග මත හොවාගෙන සිටි බැවිනි
මගෙ ආත්මය නොපිළිගයි අහිමිවී ගිය බවක් ඈ 

ඇය මට වේදනා දෙන අවසාන රිදවුම මෙය වුව ද
මේ මම ඇය වෙනුවෙන් ලියන අවසාන පද


[Translated by: Prasad Nirosha Bandara]

Painting - The Kiss (Gustav Klimt)

Thursday, May 26, 2022

මත්වී පයින් තුරු වලින් [Drunk with Pines ~ Pablo Neruda]



මත්වී පයින් තුරු වලින් හා දිගු හාදු වලින්,

ගිම්හානය මෙන්, මෙහෙයවමි රෝසමල් වේගී රුවල්,

සිහින් දවසක නැමී මරණය දෙස,

මා උග්‍ර සමුදුරු උමතුවෙහි ඇලෙනෙමි.


මගේ හාමත් දියමත හබල්ලමි සුදුමැලිව,

නිරුවත් දේශගුණයේ ඇඹුල් සුවඳට මුසුව සරන්නෙමි ඔබ මොබ, 

තවමමත් අළුපැහැති තිත්ත ස්වරයන් සමග

අත් හළ දිය විසුරුමක සෝබරම මුද්‍රාව පැළඳගෙන.


ලලාසාවෙන් බරව, හුදකලා එකම රළ මත නැගෙමි,

සඳු හිරුද - උණුසුමත් සීතලත් එක් වරම පැන නැගුණු,

ඉමිහිරිය, ශ්වේතවන් ගැවසි සිහිල්ලැල් බඳෙ‘ව්

වාසනාවන්ත දිවයින් උගුර මත නිවෙමි


විදුලි ධාරා සමග ආරෝපිතව - උමතුවට

තෙතබරිත රැයේදී සලිතවේ මගේ හාදුමය සළුව,

වික්‍රමාන්විතම ලෙස බෙදී යන සිහින වල 

මත්ගැහුණු රෝස මල් රංගනයකය - ඒ මා මතම 


උඩුගං බලා ඇදෙන පිටත දිය රළ අතර

ඉක්මනින් හා සෙමෙන් නුබ කුසෙහි ශක්තියෙන්

ආත්මයෙ සදාතන බඳින ලද මසෙකු ලෙද

ඔබෙ සමාන්තර සිරුර යටත්වෙයි මගෙ දෑත් යුග අසල


Translated by: Prasad Nirosha Bandara

Sunday, March 6, 2022

ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා සහ අපි

 


ජර්මානු සමාජ විද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු හා දාර්ශනිකයකු වූ ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර් (Oswald Spengler) තම ‘බටහිර පරිහානිය‘ (Decline of the West) නම් පොතේ සමාජයේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායන්ට (Social cycle theories) වෙනස් ස්වරූපයේ එකතුකිරීමක් කළා. ඒ  සමාජය සර්පිලාකාරව ගමන් කරන බව. ඉන් දල වශයෙන් අදහස් වුනේ සමාජය නැගීම, පරිහාණිය හා උච්ච අවස්ථාව යන අවධින් පහුකරමින් නැවතත් ප්‍රාථමික අවධියට ගමන් කරන බව. එකී චක්‍රය නියත වශයෙන් සිදුවන බවත් එය වළක්වන්න බැරි බවත් ස්පෙන්ග්ලර් කිව්වා. සැබැවින්ම මේ පියවරයන්ගේ ගමන චක්‍රාකාර උනත්, එය සර්පිලාකාර වන්නේ කාලය නියත වශයෙන් එය ඉදිරියට ඇදගෙන යන නිසා. ඒ වනවිට බටහිර ශිෂ්ටාචාරය එහි සංවර්ධනයේ අවසන් අඩවියට ළඟා වී ඇති බවත් එහි පරිහානිය වැලැක්වීමට නොහැකි බවත් ස්පෙන්ග්ලර් පැවසුවා.

මේ න්‍යායට දැඩි ලෙස විරුද්ධ වූ පාර්ශ්වයක් වූයේ සමාජයේ සංවර්ධනීය නියත පරිණාමයක් දකින ඓතිහාසික භෞතිකවාදීන් හෙවත් මාක්ස්වාදීන්. මක් නිසාද යත් ස්පෙන්ග්ලර් පෙන්නා දෙන මේ නියතවාදී සර්පිලාකාර ගමන තුළ සමාජය සඳහා මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුකළ හැකි කාරකත්වයන් වක්‍රව බැහැර කෙරෙන නිසා. මාක්ස්වාදීන්ට අනුව මේවා ධනවාදයේ සුපහසු පැවැත්ම ආරක්ෂා කරන අතුරු න්‍යායන්.

මන්ද යත් ඉන් සිදුකෙරුණු හැඟවුම් අතර ධනවාදය සමාජ පරිණාමයේ උපරිම අවස්ථාව ලෙසත් එය බිඳ වැටුණහොත් එය යළි මිලේච්ඡත්වය / ප්‍රාථමිකත්වය කරා යන බවත් කියමින් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් නොපෙනෙන පලිහක් නිර්මාණය කිරීම නිසා.

පසුකාලීනව ෆ්‍රැන්සිස් ෆුකුයාමා The End of History and the Last Man ලේඛනය තුළ මූලික ලෙස අදහස් කළේත් ධනවාදය සමාජයේ අවසන් පරිණාමීය අවස්ථාව කියන එක. නමුත් ෆුකුයාමාට වඩා ඉසියුම් වක්‍රාකාර සහායක් තමයි ස්පෙන්ග්ලර්ගේ න්‍යායන් තුළින් සමාජගත කෙරුණේ.

හැබැයි මේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායේ සත්‍යතාව හා සප්‍රමාණතාව ලෝක දේශපාලනය හෝ මාක්ස්වාදය වැනි වෙනත් විචාර සංකල්ප අනුව කවරාකාර උනත්, දශක කිහිපයක සිට ලංකාව දිහා බලද්දිනම් සමාජය ආපහු පසුපසට ගමන් කරනවා කියන එක ඉතා පැහැදිලියි.

දැන් ලංකාවට තියෙන්නේ භෞතික හා සදාචාරමය වශයෙන් අවගමනයක්. සමාජ සදාචාර පැත්තක තියලා මිනිස්සුන්ගේ ආර්ථික හා තාක්ෂණික කාරණා බැලුවත් මේක පේනවා. අද මිනිස්සුන්ට කන්න කෑම නෑ. වාහන දුවන්න තෙල්නෑ. වැඩ කරන්න ලයිට් නෑ. (දඩිබිඩියේ මේ සටහන ලියන්නේ ලයිට් කපයි කියන බයේ!), බත් පතක් උයාගන්න ගෑස් නෑ, ගෙයක් හදාගන්න සිමෙන්ති ටිකක් නෑ, බොන්න කිරිපිටි ටිකක් නෑ, උණකට හෙම්බිරිසාවකට පැනඩෝල් කෑල්ලක් නෑ, අතේ සල්ලි නෑ, රස්සාවල් නෑ, අඩුතරමේ ගොවිතැනත් නෑ. ඒ කියන්නේ අද ළංවෙන්නේ සමාජ පරිණාමයේ මූලිකම, ප්‍රාථමික අඩවියට තමයි කියලා බැලූ බැල්මට පේනවා.

නමුත් අනික්පැත්තට බැලුවාම ඒ මතුපිට පෙනුම සම්පූර්ණයෙන්ම අප රවටන සුලුයි. මන්ද යත් බහුතරය ප්‍රාථමිකත්වය වෙත ගමන් ගද්දී තවත් කොටසක් පශ්චාත් ධනවාදයේ කරණම් ගහමිනුයි ඉන්නේ. රටේ ඇති නැති පරතරය දවසින් දවස වැඩිවෙනවා.  පැන්ඩෝරාවල, පැනමාවල ධනය ගොඩ ගැහෙනවා, විදේශ රටවල් එක්ක සිදුවන ගණුදෙනු - ඩීල් පශ්චාත් ධනවාදී ස්වරූපයේ ඒවා. රටේ අත්‍යාවශ්‍ය භාන්ඩ ගෙන්නන්න විදේශ සංචිත නැතිවෙද්දි සුඛෝපභෝගී ගුවන් සංචාර යනවා. කණ්ඩ ඉල්ලලා මිනිස්සු පොරබදද්දි අධිවේගී මාර්ග හැදනවා. ඒ අනුව පේන්නේ එකම එක දෙයයි. 

අපි තමයි ධනවාදයේ නියම සුජාත පුත්තු! 

ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා තම න්‍යාය ලිව්වේ පොත්වල. ඒවා කවදාවත් භෞතික පොළවට ආවේ නෑ. ඒත් අපේ මේ ධනවාදයේ පුත්තු ස්පෙන්ග්ලර්ලාගේ න්‍යාය භෞතික පොළවේ පැළකරනින් ගමන්, අනිත් අතට තමන් කීපදෙනෙකු විසින් ධනවාදය එහි දියුණුම අඩියේ ස්පර්ෂ කරමින් සිටිනවා.

බලන්න, ඒකෙනුත් අපි තමයි හොඳටම කළේ…!

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Friday, March 4, 2022

ආදරය (Love ~ Pablo Neruda)



සුපුෂ්පිත කුසුම් බර උයන්වල

හමා එන වසත් සුවඳවිලවුන්

වේදනා දෙවනවා

ඒ ඔබ නිසා මට


ඔබේ වත අමතකව ඇත.

ඔබේ ඔය දෑත් යුග 

තවදුරටත් මතකයේ නෑ මට,

මා ලවනත තැබූ ඔය දෙතොල හැඟුමන්?


උයන් බිම්වල නිදිකිරන

ශ්වේත පිළිරූ වෙත,

ඔව්, කිසිදාක හඬක් හා 

පෙනීමක් නැති

සුදු පිළිරූවලට පවා 

ආදරේ දැනෙනවා,

ඒ ඔබ නිසාවෙනි 


ඔබේ හඬ අමතකව ඇත.

ඔබේ කෙළිලොල් හඬ,

ඔබ දෑස් යුග පවා 

මගෙ මතකයෙන් ඔබ්බෙනි


යම් සේද සුවඳ කුසුමට, 

එනයින් ඇද බැඳ තබා ඇත මා 

නොපැහැදිලි ඔබේ මතකය.


තුවාල වේදනාවෙන් දිවි හරිනෙමි.

ස්පර්ෂ කළෝතින් හෙම ඔබ

යළි සුව නොවන වේදනා දෙනු ඇති.


ඔබේ ඔය පහස 

මා වටකරනවා නිරතුරු,

මලානික පහැ බිත්ති මත

එතී තරණය කරන වැල් මෙන්


ඔබෙ ආදරය අමතකයි මට.

එනමුදු සෑම බැල්මෙක

ඇස ගැහෙන හැම කවුලුවක් පාසා

ඇඳී ඇඳී පේන්නෙම 

ඔව් ඒ ඔබේ රුවමයි 


මත්කරන ගිම්හාන විලවුන් 

වේදනා දෙවනවා 

ඒ ඔබ නිසාවෙන්මය. 


එහෙත් යළි ලුහුබඳින්නෙමි,

ආසාවන් අවුස්සන ක්ෂණික සංඥා, 

උල්කාපාත - පතිතවන වස්තූන්..


Love ~ Pablo Neruda [Translated by: Prasad Nirosha Bandara]

Saturday, November 27, 2021

KCC Multiplex සංස්කෘතික කාන්තාරයට වැටුණු දිය බිඳක්




[නුදුරේදී විවෘත්ත වූ මහනුවර  KCC Multiplex සිනමා ශාලාවන්හි විචිත්‍ර අත්දැකීම ලැබීමට හැකිවීම හේතුවෙන් මේ සටහන ලියැවුණි]


‘සංස්කෘතිය‘ යන්නට ඉංග්‍රීසියෙන් භාවිත කරන Culture යන වචනය ‘කොලරේ‘ කියන ග්‍රීක වචනයක් ඇසුරෙන් ගොඩ නැගුණු එකක් කියලා අපි ඉගනගෙන තියෙනවා. ඒක ග්‍රීසියේදී භාවිත වුණේ කෘෂිකර්මයට සම්බන්ධව. විශේෂයෙන් ‘නඟුල් තලය‘ වගේ අර්ථයක. (දැනටත් කෘෂිකර්මයට සම්බන්ධව භාවිත කරන, agriculture - කෘෂිකර්මය, horticulture - ගෙවතු වගාව, aquaculture - මත්ස්‍ය වගාව වගේ සියලු වචන තුළ culture යන කොටස තිබීමෙන් එය කෘෂිකර්මය හා පවත්නා සම්බන්ධතාව තවත් තහවුරු කරනවා) නගුල මගින් කරන්නේ තියෙන බිම් පෙරලීම. බිම් පෙරලා ඒ මත අලුතින් වගා කිරීම.  ඒ නයින්අ බලන කල, ‘සංස්කෘතිය‘ හෙවත් 'culture' යන්නෙන් පවත්නා දේවල් ආරක්ෂා කිරීම වගේම ඒවා අලුත් කිරීමත් එකවැරම හැඟවනවා. 
අපි  මහනුවර නගරය හඳුන්වන්නේ ලංකාවේ මහා සංස්කෘතික නගරයක් හැටියටනේ. නමුත් සංස්කෘතිය පිළිබඳ ඉහත කී සැබෑ නිර්වචනයන් තුළ එය එසේමද? අපි මහා සංස්කෘතියක් ලෙස ආරක්ෂා කරන මහනුවර තුළ බොහෝ විට සංස්කෘතික කාන්තාරයක් තමයි තියෙන්නේ. 
වෙන දෙයක් තියා යෞවන ‍ප්‍රේමය පිළිගන්න පුළුවන් සංස්කෘතියක්වත් අපිට තියෙනවාද?. ඇත්තටම මේ (අ)සංස්කෘතික නගරයේ  ඉපදිච්ච අපි උපන් දා ඉඳන්  දැකලා තියෙන්නේ පෙම්වතුන්ට විසිල් ගහන රැකවලුන් ඉන්න මල් උයන්. පෙම්වතුන් වාඩිවන නිසා කළුතෙල් වක්කරනු ලැබූ බංකු සහිත වැවරවුම්. ඒ අයට වන මිලිටරිමට ගැරහුම් එරවිලි. 
විවිධ කලා සංස්කෘතික ධාරාවන් අතර, සිනමාව යනු ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයක්. එමෙන්ම මිනිසුන්ගේ විනෝදය සැපයීමේ ප්‍රධාන මාර්ගයක්. 
අපි පොඩිකාලේ මහනුවර සිනමා ශාලා කීයක් තිබුණද? ඇත්තටම විශාල සංඛ්‍යාවක්. ඒවා සියල්ලේම පාහේ සිනමාපට නැරඹීමට කුඩා කල ඉඳන් මං පුරුදු වෙලා තිබ්බා. ඒ වගේම අහවල් සිනමා ශාලාවේ නැරඹූ සිනමා කෘති මේවා මේවා කියලා අදටත් මතකයි. නමුත් මං දන්න ඉතිහාසය තුළ, මේ සංස්කෘතික නගරයේ මුළිංම ඕඩියන්ස් සිනමා ශාලාවයි වේල්ස් සිනමාශාලාවයි ඉවර වුණා. ඒ අපි සෑහෙන තරම් පොඩි කාලේමයි. ඕඩියන්ස් එක ඉවර කරලා එතන තරු හෝටලයක් හැදුවා. වේල්ස් එක ඉවර කරලා ඒ භූමියේ කාර් පාර්ක් එකක් හැදුවා (මේවා අවශ්‍ය නෑ කියලා කියන්නේ නෑ. සමබර නගරයකට ඒවාත් අවශ්‍යයි තමයි. නමුත් මේවා සංස්කෘතියට විකල්ප නෙමයි) 



ඊට පස්සේ, වෙම්බ්ලි සිනමා ශාලාව වැසී ගියා. වෙම්බ්ලි එක තමයි අපේ පාසල් සමයේ, පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබ්බ සිනමාශාලාව. පේරාදෙණියේ තුසිත සිනමාශාලාව වැසුනා. විශේෂයෙන් මං වැඩිපුරම සිනමා කෘති නරඹලා තිබ්බ රීගල් සිනමා ශාලාවත් දැන් ඉවරයි. ලෝකයේ ජනප්‍රියම විනෝද කර්මාන්තය හා වැදගත්ම සංස්කෘතික කලාපයක් වන සිනමාවට මහනුවර නගරයේ හිමි වුනේ ඒ තැන.
මහනුවර KCC හි C1. C2 කියන අති නවීන සිනමා ශාලා ආදේශ වෙන්නේ ඒ රික්තකයට. ඒ සංස්කෘතික මුඩු බිමට.
සාම්ප්‍රදායික සිනමා ශාලා ක්‍රමයට ඔබ්බට ගිහින් අති නවීන ප්‍රක්ෂේපණ ක්‍රම (film projection), අති නවීන ශබ්ද විකාශන තාක්ෂණය හා තවත් නූතන පහසුකම් රාශියක් සහිත මේ සිනමා ශාලා ඇත්තමට මහනුවර මිනිසා නැවතත් සංස්කෘතිය වෙත නැඹුරු කරගැනීමට විශාල දායකත්වයක් දක්වයි කියලා හිතන්න පුළුවන්. 


විශේෂයෙන් එක් තනි අති විශාල සිනමා ශාලාවක් වෙනුවට, එවැනිම විශාල තිරයක්  හා ඊටත් වඩා නවීන තාක්ෂණයකින් සහිත කුඩා සිනමාශාලා කීපයක් නිර්මාණය වීම ලෝකයේ නව නැම්මක් වීමටත් වඩා, නූතන ලංකික සිනමා රසික අවකාශය මනාකොට තේරුම් ගත් කටයුත්තක් ලෙස සලකන්න පුළුවන්.
මෙහි ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ එක දිනකට එක ශාලාවක සිනමා කෘති රාශියක් ප්‍රදර්ශනය කිරීම හා ඒවා බොහෝමයක් ලෝකයේ මේවනවිටත් දුවමින් ඇති නවතම සිනමා කෘතීන් වීම. (අපි මෙතෙක් බොහෝ විට අත් දැක්කේ තරමක් පැරණි ජාත්‍යන්තර සිනමා කෘති ප්‍රදර්ශනය වීමනේ) ඒ නිසා ලංකීය, විශේෂයෙන් මහනුවර රසිකයාට ලෝකයේ විවිධ සිනමා කෘති, ඒවා එළි දැක්වූ විගස නැරඹීමේ හැකියාව KCC Multiplex මගින් ලැබිලා තියෙනවා.
මේ සිනමා කෘතීන් අතර විවිධ රසික පරාසයන් වෙත ළං වෙන්න පුළුවන් විවිධ ශානර (genres) රාශියක සිනමා කෘති තිබීමත් ඉතා වැදගත්. උදාහරණයක් විදිහට මේ සටහන ලියන අද දිනයේ Action, Comedy,
Animation, Fantasy, Drama, epic වගේ ශානරයන් රාශියකට අයත් ළමා සහ වැඩිහිටි සිනමා කෘති මෙන්ම, හොලිවුඩ්, බොලිවුඩ්, සිංහල ආදී කාණ්ඩයන්ට අයත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය වීමට නියමිතයි. 
කෙසේවෙතත්, මෙම ජනප්‍රිය සිනමා කෘති සමගම තවදුරටත් ශාස්ත්‍රීය සිනමා කෘතිත් තෝරාගැනීමේ අභියෝගය නම් ඔවුන්ට තියෙනවා.


අනික් වැදගත්ම කාරණය තමයි, සාම්ප්‍රදායික සිනමා ශාලා වල තියෙනවාට වඩා වෙනත් සුවිශේෂී කාල සටහන් ක්‍රමයක් මේ සිනමා කෘති ප්‍රදර්ශනයේදී භාවිත වීම. ඒ අනුව මහනුවර නගරයේ යට ඇවිත් යම් වැඩ දෙකක් සඳහා කාලය ඉතිරිවෙන අයට රස්තයාදු නොවී, ඒ කාලයේ සුන්දර සිනමා කෘතියක් රසවිඳින්න හැකියාවක් තියෙනවා. ඉස්සරනම් අපි වගේ රසිකයින්ට පැය ගණන් සංවාදාත්මක රස්තයාදුවක යෙදෙන්න තිබුණා වයිට්හවුස්, පායිවාස් වගේ හෝටල්. කහට කෝප්පයක් අරගෙන එක මේසයක් අල්ලගෙන දවසම වුණත් කයිවාරු සංවාද කර කර හිටියට ඒවාගේ මුදලාලිලා මොකුත් කියන්නේ නෑ. නමුත් දැන් ඒ වගේ මුදලාලිලාත් නෑ. ඇත්තටම ඒකත් සංස්කෘතික අංගයක්. දැන් ඒ අංගයත් නෑ. 


වෙන එකක් තියා අපි ඉන්නේ මීට අවුරුදු පහළොවකට පමණ කළිං ගිනි ගත්ත මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරය තවමත් පෙර පරිදි ගොඩනගා මහජන අවකාශයට විවෘත්ත කරන්න බැරි තරම් සංස්කෘතික විහීනයෝ දේශපාලනය කරන, තීන්දු තීරණ ගන්න නගරයක. 
ඉතිං එවන පිරිසකට තබා, එහි සාම්ප්‍රදායික පුරවැසියන්ගෙන් බහුතරයකට සංස්කෘතිය පිළිබඳ ඉහත අපි දුන් ප්‍රතිසංස්කරණාත්මක නිර්වචන වැඩක් නෑ. මොතද නවීකරණය කරන්න තියා පවත්නා සංස්කෘතික අවකාශ ඒ අයුරින් පවත්වාගෙන යන්නත් ඒ අයට බැරි බව ඉහත උදාහරණ මගින් පේනවා.
කොහොම වුණත් පෙනී යන හැටියට KCC Multiplex සඳහා විශාල රසික ඉල්ලුමකුත් තියෙනවා. ඒ නිසා මේ වෑයම සාර්ථකව දිනෙන් දින වර්ධනය වේවි කියලා හිතන්න පුළුවන් වගේම, එහෙම ප්‍රාර්ථනා කරනවා. 
ඇත්ත. අදාල සිනමා ශාලා සඳහා වැය කර ඇති අති විශාල ඉඩ හා අති නවීන පහසුකම් සඳහා වැය කර ඇති වියදම වෙනත් ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වෙන් කළානම් එහි හිමිකරුවන්ට මීට වඩා ආදායමක් ලබන්න පුළුවනි. එසේ නමුත්, අදාල හිමිකරු හුදු ව්‍යාපාරිකයෙක් නොවී කලාවට, සංස්කෘතියට, සිනමාවය කිසියම් දුරකට ආදරේ කරන කෙනෙක් බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන්ගේ මේ සත් වෑයම සංස්කෘතික - ආර්ථික කාන්තාරයකට පෑයූ දිය බිඳක් ලෙස පැවසීමට නිර්ලෝභී වූයේ ඒ නිසායි.


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර